ආයතනික වගකීම් සඳහා ආසියාවේ හොඳම බැංකුව ලෙස, සම්පත් බැංකුව ජාත්‍යන්තර ගෞරවාදරයට පාත්‍ර වේ‍

Image 2 (LBN)

පසුගියදා සිංගප්පූරුවේ The Westin හි පැවති Euromoney Awards for Excellence 2024 සම්මාන උළෙලේදී ‘ආයතනික වගකීම් සඳහා ආසියාවේ හොඳම බැංකුවට’ හිමි ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලැබීමට සම්පත් බැංකුව සමත් විය. ආයතනික වගකීම සහ තිරසාරභාවය සඳහා වූ සිය කැපවීම ප්‍රදර්ශනය කරමින්, ගෞරවයට පාත්‍ර වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව ලෙස සම්පත් බැංකුව එදින සුවිශේෂී අන්දමින් කැපී පෙනුණි. එහිදී ආයතනික වගකීම් සඳහා බැංකුවේ කැපී පෙනෙන දායකත්වය අගයමින් මෙම සම්මානය සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවැල්ල පෙරේරා මහත්මිය වෙත පිරිනැමිණි.
 



 

සම්පත් බැංකුව 2023 වසරේ දී ආයතනික සමාජ වගකීම් ප්‍රයත්නයන් සඳහා සිය කැපවීම පිළිබිඹු කරමින් විවිධ ව්‍යාපෘතීන් සඳහා රුපියල් මිලියන 91.3 (ඩොලර් 300,000) ක අයවැයක් වෙන් කළ අතර, එමගින් පාරිසරික හා සමාජයීය තිරසාරභාවය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට සමත් විය. දහස් ගණනකට ප්‍රතිලාභ අත් කර දීමේ අරමුණින් ව්‍යාපෘති 84කට සහාය වීම සඳහා සම්පත් බැංකුව, එහි ශුද්ධ ලාභයෙන් 1% ක් වෙන් කිරීම මගින් සිය ආයතනික වගකීම් කෙරෙහි දක්වන කැපවීම තවදුරටත් විදහාපානු ලබයි.

මේ පිළිබඳව සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය ප්‍රකාශ කළේ සම්පත් බැංකුව ආයතනික වගකීම් හි තිබෙන උසස්ම අරමුණ වශයෙන් තිරසාරභාවය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි. “Euromoney විසින් ආයතනික වගකීම් සඳහා ආසියාවේ හොඳම බැංකුව ලෙස, සම්පත් බැංකුව පිළි ගැනීමට ලක් කිරීම අප ලැබූ අතිවිශාල ගෞරවයක්. තිරසාරත්වය සඳහා අපගේ කැපවීම යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ එකම බැංකුව ලෙස මෙම සම්මානයෙන් පිදුම් ලැබීම, සම්පත් බැංකු නායකත්වයේ සහ කණ්ඩායමේ මෙන්ම ප්‍රජාවගේ සාමුහික ප්‍රයත්නය මල්ඵල දැරූ අවස්ථාවක් ලෙස සනිටුහන් වනවා” යැයි ද අයෝධ්‍යා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම ජයග්‍රහණයෙන් පසුව, සම්පත් බැංකුව ආයතනික වගකීම් සඳහා ලොව හොඳම බැංකු තුන අතරට ද නම් කරන ලදී. සම්පත් බැංකුවේ ප්‍රමුඛතම මුලපිරීම් අතරින් ‘වැවට ජීවයක්’ වැඩසටහන ප්‍රධාන තැනක් ගනී. මෙරට කෘෂිකාර්මික හා ජීවනෝපායයන් සඳහා උපකාරි වන, වසර 2000ක් ඉපැරණි වාරි පද්ධතීන් ප්‍රතිසංස්කරණය කිරීම එහි අරමුණයි. 2024 වසරේ අගෝස්තු මාසය වනවිට මෙවැනි වැව් 25ක් ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ගොවීන්ට සහ අදාළ ප්‍රජාවට අවශ්‍ය ස්ථාවර ජල සැපයුම සහතික කිරීමට සම්පත් බැංකුව කටයුතු කර තිබේ.

පාසල් සංවර්ධනය සඳහා අතිරේක ආදායමක් උත්පාදනය කරන ‘ගසයි මමයි – පුබුදු පොතයි’ යන පාසල් ගෙවතු වගා වැඩසටහන ඔස්සේ පරිසර හිතකාමී අනාගත පරපුරක් බිහි කිරීමට සම්පත් බැංකුව ඇප කැප වී සිටියි. මීට අමතරව ‘සයුරට හුස්මක්’ යන ආයතනික තිරසාර වගකීම් වැඩසටහන යටතේ කොරල්පර ප්‍රතිසංස්කරණය, කඩොලාන සංරක්ෂණය මෙන්ම කැස්බෑවුන් සංරක්ෂණය කිරීම යනාදී කාලෝචිත ව්‍යාපෘති රැසක් දියත් කරමින් සාගර ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීම උදෙසා අඛණ්ඩ දායකත්වයක් සපයයි.

සම්පත් බැංකුවේ සිය වගකීම සෞඛ්‍ය සේවාව ඔස්සේ ද විහිද ගොස් ඇති අතර, ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ යන වැඩසටහන තුළින් ගිලන් රථ සේවාවක් පවත්වා ගැනීමට මනා පිටිවහවලක් සපයයි. ග්‍රාමීය ප්‍රදේශයන්හි හදිසි සේවාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරමින් ගිලන් රථ 10ක් නඩත්තු කිරීම සඳහා මෙම වැඩසටහන ඔස්සේ රුපියල් මිලියන 50 ක් ලබා දීමට කටයුතු කර තිබේ.

තවද, සම්පත් බැංකුව විදුලි සංදේශන සමාගම් සමඟ හවුල් වී, මුල්‍යමය ඇතුළත් කිරීම්, ඩිජිටල් සේවා වැඩිදියුණු කිරීම් ඇතුළු බැංකු සේවාවන්, පහසුකම් නොලත් ජනතාව වෙත අත්පත් කර දීමට ද සම්පත් බැංකුව කැප වී කටයුතු කරයි.

මෙම සම්මානය හිමි වීමත් සමඟ සම්පත් බැංකුව, HSBC, Citibank, United Overseas Bank (UOB), DBS Bank, සහ Morgan Stanley වැනි ගෝලීය මට්ටමේ දැවැන්තයින් සමඟ ස්ථානගත වන අතර, එමගින් ආයතනික වගකීම් හි ප්‍රමුඛයෙකු වශයෙන් ලද ගෞරවය තවදුරටත් සබැඳිමත් කරයි. මෙම වැදගත් සංධිස්ථානයේ දී පැසසුමට ලක්වීම තුළින් ඉහළ තිරසාරත්වයක් සහ ප්‍රජාවට බලපෑමක් ඇති කිරීම සඳහා අඛණ්ඩව ඉදිරියට යාම, සම්පත් බැංකුවේ ඒකායන අභිප්‍රායයි. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව