අලියාන්ස් ලංකා සමාගම LMD හි වටිනාම පාරිභෝගික සන්නාම අතරට එක්වෙයි

Allianz - Logo

 



 

 

 

මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, 2022 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම ලයිස්තුවේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ සමාගම් 3 අතරට සහ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගම් 10 අතරට එක්වීමට සමත් වී ඇත. Brand Finance මගින් සිදුකරනු ලබන සමීක්ෂණයක් අනුව මෙම සන්නාම ලැයිස්තුව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ LMD මගිනි. 2019 වසරේ සිටම මෙම ලැයිස්තුවට ඇතුළත් වීමට අලියාන්ස් ලංකා සමත් වී ඇති අතර, සමාගමේ ශක්තියට සහ වෙළඳපොළ තුළ එයට හිමි තත්ත්වයට මෙන්ම, ගනුදෙනුකරුවන්ට තම ජීවිතයේ වටිනාම දේවල් වලට නිසි රැකවරණයක් ලබාදීම සඳහා අත්වැලක් වීමට සමාගම දක්වන කැපවීමට එය මනා සාක්ෂියකි.

ශ්‍රී ලංකාවේ සන්නාම සම්බන්ධයෙන් සිදුකරන පුළුල් හා පරිපූර්ණ සමීක්ෂණයකින් අනතුරුව මෙම ලැයිස්තුව වාර්ෂිකව ප්‍රකාශයට පත්කෙරේ. වෙළඳපොළ පර්යේෂණ, ප්‍රකාශිත මූල්‍ය තොරතුරු සහ පාරිභෝගිකයන්ගේ අදහස් මේ සඳහා සැලකිල්ලට ගනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, නැවත වරක් මෙම ලැයිස්තුවට ඇතුළත් වීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් මහත් සතුටට හා ආඩම්බරයට පත්වන බව සහ “ගනුදෙනුකරුවන්ගේ යහපත වෙනුවෙන් මෙන්ම විශිෂ්ට සේවාවක් වෙනුවෙන් අප දක්වන කැපවීම මෙමගින් නැවත වරක් සනාථ වනවා යනුවෙනි. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වශයෙන් අප මේ උත්සාහ කරන්නේ අපගේ සේවාවන් ඩිජිටලීකරණය කරන අතරම, පෞද්ගලික මට්ටමින් සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි, ඉහළම තලයේ සේවාවක් ලබාදීමටයි. එම උත්සාහය නිසා යළිත් වරක් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම අතරට එක්වීමට හැකි වීම අපට මහත් සතුටක්” යනුවෙනි.

අලියාන්ස් ලංකා යනු දක්ෂ හා ප්‍රවීණ කළමනාකාරීත්වයක මෙහෙයවීම සහ දැවැන්ත ගෝලීය මූල්‍ය සේවා සමාගමක පිටුබලය සමගින් ක්‍රියාත්මක වන සමාගමකි. පාරිභෝගික භවතුන්ට වඩාත් වැදගත් වන දේවල් සඳහා සාර්ථක හා ඵලදායී රක්ෂණ විසඳුම් ලබාදීම සමාගමේ මූලික අරමුණ වී තිබේ. COVID-19 සම්බන්ධ සීමාවන් දරුණු ලෙස පැවති 2020 සහ 2021 වසරවලදී අලියාන්ස් ලංකා වෙත ලැබුණු, හැසිරවීම සහ නිරවුල් කළ වන්දි හිමිකම් සංඛ්‍යාව ආසන්න වශයෙන් 500,000 ක් පමණ වේ.  ඉදිරියේදී ජන ජීවිතයේ මෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් වලට අනුකූලව, පාරිභෝගික භවතුන් සවිබල ගැන්වීම සඳහා සුවිශේෂී විසඳුම් පෙළක් හඳුන්වා දීමට සමාගම දැනටමත් සැලසුම් කර තිබේ.

අලියාන්ස් සමූහය යනු ලොව විශාලතම රක්ෂණ හා වත්කම් කළමනාකරණ සමූහ ව්‍යාපාර අතරින් එකකි. රටවල් 70 කට අධික සංඛ්‍යාවක පෞද්ගලික හා ආයතනික ගනුදෙනුකරුවන් මිලියන 126 කට අධික සංඛ්‍යාවක් අලියාන්ස් හි සේවාවන් භාවිතා කරති. දේපළ රක්ෂණ, ජීවිත රක්ෂණ හා සෞඛ්‍ය රක්ෂණ මෙන්ම සහකාර සේවාවන්, ණය රක්ෂණ, සහ ගෝලීය ව්‍යාපාර රක්ෂණ වැනි විසඳුම් හා සේවාවන් රාශියක් අලියාන්ස් විසින් හඳුන්වා දී තිබේ. ලොව විශාලතම ආයෝජකයෙකුද වන අලියාන්ස්, තම රක්ෂණ හිමියන් වෙනුවෙන් යූරෝ බිලියන 809 ක පමණ මුදලක් කළමනාකරණය කරයි. මීට අමතරව සමූහයේ වත්කම් කළමනාකරණ සමාගම් වන PIMCO සහ Allianz Global Investors (Allianz GI) යන සමාගම් තුන්වන පාර්ශ්වයන් වෙනුවෙන් කළමනාකරණය කරන වත්කම් වල සමස්ත වටිනාකම යූරෝ ට්‍රිලියන 1.9 කට අධික ය.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව