අමානා බැංකුව ICST විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කරමින් සිසුන්ට සහනදායී අධ්‍යාපන මූල්‍ය පහසුකම් සැපයීම සඳහා අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබයි

Punani Openning (LBN)

අමානා බැංකුවේ 30 වැනි ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි ‘International Campus of Science & Technology (ICST) විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී විවෘත කරන ලදි. මෙම අවස්ථාවට අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, ජ්‍යෙෂ්ඨ උප සභාපති (ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී) එම්. එම්. එස්. කුවයිලිද්, උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර්, ICST නිර්මාතෘ ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, එහි සභාපති ඉංජිනේරු එම්. එච්. ඒ. හිරාස් සහ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර යන මහත්වරුන් මෙන්ම විශ්ව විද්‍යාලයේ පරිපාලන අංශයේ නිලධාරීන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ප්‍රාදේශීය බලධාරීන් සහ ප්‍රදේශයේ ප්‍රභූන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

 



 

මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය හරහා සිසුන්ට දවසේ පැය විසි හතර පුරාම මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, චෙක්පත් තැන්පත් කිරීම සහ බිල්පත් ගෙවීම යන සේවාවන් ලබාගත හැක. මෙය ICST විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ කාර්ය මණ්ඩලයට ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය.

මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාවේදී, ICST විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහනදායී අධ්‍යාපන මූල්‍ය පහසුකම් සැපයීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදි. මේ යටතේ ICST විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අමානා බැංකුවේ මානුෂ-හිතවාදී හා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “මෙම නවීන පහසුකම් සහිත විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය විශ්ව විද්‍යාලයේ සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට සිය බැංකුකරණ සේවා ලබා ගැනීමේදී ඉමහත් පහසුවක් වේවි. මෙම විශ්ව විද්‍යාලය පොළොන්නරුව, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයවලට ආසන්නව පිහිටා තිබෙන බැවින් එම ප්‍රදේශවල ජනතාවටත් මෙය අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”

එමෙන්ම තම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මොහොමඩ් අස්මීර් මහතා පැවසුවේ, ICST විශ්ව විද්‍යාලයේ සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට මෙන්ම අනෙකුත් ගනුදෙනුකරුවන්ට අමානා බැංකුවේ මූල්‍ය සේවාවන් සපයමින්, විශ්ව විද්‍යාලයේ දැක්ම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා හැකි උපරිමයෙන් දායක වීමට අමානා බැංකුව බලාපොරොත්තු වන බවයි.

ICST විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “මානුෂ-හිතවාදී මූල්‍ය පහසුකම් පිරිනමන බැංකුවක් වන අමානා බැංකුව සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මූල්‍යමය බාධාවන් ජයගනිමින් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා සුවිශාල පිටිවහලක් වේවි. එමෙන්ම විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ විවෘත කළ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය නිසා, විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් කාර්ය මණ්ඩලයටත් දැන් විශාල දුරක් ගෙවා බැංකු ශාඛා වෙත යාම වෙනුවට ඉතාමත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකියාව ලැබෙනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව