අමානා බැංකුව විදුල්ලංකා සූර්ය විදුලි බලාගාරය බලගන්වයි

Amana Bank Powers Vidullankas Ground Mounted Solar facility (AAN)

 


 

 

අමානා බැංකුව මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනයට දායක වීමට දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, විදුල්ලංකා පීඑල්සී මගින් හොරණ ප්‍රදේශයේ ඉදිකරන ලද මෙගාවොට් 2 සූර්ය විදුලි බලාගාරය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට කටයුතු කළේ ය. විදුල්ලංකා යනු මෙරට පරිසර හිතකාමී සහ අඩු වියදමින් සිදු කෙරෙන බලශක්ති නිෂ්පාදනයෙහි පුරෝගාමී සමාගමකි. වාර්ෂිකව ගිගාවොට් පැය 3.9 ක බලශක්තියක් ජනනය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන මෙම සූර්ය බලාගාරය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම 2023 ජූනි මස 09 වන දින උත්සවාකාරයෙන් සිදු වූ අතර, එම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරියේ සභාපති ඉංජිනේරු රංජිත් සේපාල, අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් සහ විදුල්ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාස් සංගානි යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

“හොරණ ප්‍රදේශයේ මෙම සූර්ය බලාගාරය ස්ථාපිත කිරීම සඳහා විදුල්ලංකා සමාගම සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අද දිනයේ තිරසාර ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කිරීම තුළින් කාබන්-සමතුලිත සහ පරිසර හිතකාමී හෙට දිනයක් නිර්මාණය කළ හැකි බව අපගේ විශ්වාසයයි. එමෙන්ම අපගේ බැංකුකරණ ආකෘතිය, තිරසාර ප්‍රතිඵල අත්කර දෙන ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සැපයීම දිරිමත් කරනවා. මීට පෙරත් අප කුඩා පරිමාණ ජල විදුලි බලාගාර, ජෛවස්කන්ධ විදුලි බලාගාර, පියසි සහ පොළොව මත සූර්ය පැනල සවිකිරීමේ බලශක්ති ව්‍යාපෘති, ඉවත දමන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘති සහ තිරසාර මත්ස්‍ය වගා ව්‍යාපෘති ආදිය සඳහා මූල්‍ය පහසුකම් සපයා තිබෙනවා. විදුල්ලංකා සමග අත්වැල් බැඳගැනීම තුළින් අප උත්සාහ කරන්නේ, වඩාත් පරිසර හිතකාමී හා තිරසාර අනාගතයක් වෙනුවෙන් අප තුළ ඇති කැපවීම තවදුරටත් තහවුරු කිරීමටයි.” මෙම අවස්ථාවට සහභාගී වෙමින් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා එසේ තම අදහස් දැක්වී ය.

“අපගේ උත්සාහය වන්නේ, ශ්‍රී ලංකාවේ බහුලව ඇති පුනර්ජනීය බලශක්ති මූලාශ්‍රවලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමයි. එම උත්සාහය දිරිගන්වන අමානා බැංකුව වැනි හවුල්කරුවෙකු ලැබීම අපට මහත් සතුටක්. හවුල්කාරීත්වය පදනම් කරගත් ඔවුන්ගේ බැංකුකරණ ආකෘතිය, අප විසින් සිදුකරනු ලබන සංවර්ධන ව්‍යපෘති සඳහා මැනැවින් ගැළපෙනවා. එමෙන්ම එවැනි ව්‍යාපෘතිවලට සම්බන්ධ වීමේදී අමානා බැංකුව පෙන්නුම් කරන අවදානම් කළමනාකරණ රුචිකත්වය ප්‍රශංසනීයයි. දිගින් දිගටම එක්ව කටයුතු කරමින් රටේ කාබන් පිය සටහන අවම කිරීම අපගේ බලාපොරොත්තුව වී තිබෙනවා.” විදුල්ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාස් සංගානි මහතා එසේ තම අදහස් දැක්වී ය.

මෙම උත්සවයේදී ගරු අමාත්‍යතුමන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දැක්වූ අදහස්වලින් අනාවරණය වූයේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2020 වසරේ මාර්තු මාසයේදී දියත් කරන ලද ‘සූර්ය බල සංග්‍රාමය’ ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ පිරිනමන ලද ටෙන්ඩර් අතරින් බලාගාර ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කර ක්‍රියාත්මක කිරීමට මෙතෙක් සමත් වූ එකම සමාගම විදුල්ලංකා බවයි. රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 150 කින් ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මෑතකාලීනව සිදු වූ අධික පිරිවැය ඉහළ යාම් හමුවේ පවා විදුල්ලංකා සමාගම මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස අවසන් කිරීමට සමත් වී තිබේ.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව