අමානා බැංකුව දරුවන්ට නිවසේදීම ඉතිරිය හුරු කරවීමේ මෙහෙවරක

Children Day PR-01 (1)

අමානා බැංකුව පසුගියදා ‘ඉතිරි කරන්න ගෙදරදීම හුරුවෙන්න’ යන තේමාව යටතේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළේ ය. දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවමින්, ඔවුන්ට තම අනාගත සිහින සැබෑ කරගැනීමට මංපෙත් විවර කර දීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ. 2020 ඔක්තෝබර් 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ආරම්භ කරන ලද මෙම වැඩසටහන මගින්, දරුවන්ට තම අනාගත සිහින පිළිබඳ අදහස් දක්වමින් කෙටි වීඩියෝවක් නිර්මාණය කිරීමට ආරාධනා කරන ලද අතර, මෙම වීඩියෝ දර්ශන අමානා බැංකුවේ නිල ෆේස්බුක් පිටුවේ පළකරන ලදි. වයසින් කුඩා වුවත් විචිත්‍ර අනාගත සිහින දකිමින්, එම සිහින සැබෑ කරගැනීම සඳහා ඉතිරි කිරීමට තමන් ඉතාමත් කැමැත්තෙන් සිටින බව එම දරු දැරියන් කියා සිටි අතර, ඔවුන්ගේ අදහස් නිසා තවත් දරුදැරියන් විශාල පිරිසක් මේ වනවිට ඉතිරි කිරීමට යොමුවී තිබේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ආයතනික සන්නිවේදන හා අලෙවි කළමනාකරු ආසීම් රාලී මහතා මෙසේ පැවසී ය. “දරුවන්ගේ සිත්වල සිහින කන්දක් තිබෙනවා. ඒ සිහින ඔවුන්ට හරිම වැදගත්. ඉතිරි කිරීමේ පුරුද්ද හුරු කරවීම මගින්, ඒ සිහින සැබෑ කරගැනීමේ මාවතට ඔවුන් අවතීර්ණ කරවීමට පුළුවන් කියා අප විශ්වාස කරනවා. ඒ ගමන ආරම්භ කිරීමට ඇති හොඳම මුල් පියවර වන්නේ කැටයක් ගෙන නිවසේදීම ඉතිරි කිරීම පටන් ගැනීමයි.”

අමානා බැංකුව තැන්පතු ප්‍රවර්ධන අංශයේ ප්‍රධානී අර්ෂාඩ් ජමාල්ඩීන් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “ඉතිරි කිරීමේ සතුට සහ එහි වැදගත්කම තේරුම් ගත් විට දරුවන් වැඩි වැඩියෙන් ඉතිරි කිරීමට පෙළඹෙනවා. දරුවන් කුඩා කලදීම ඔවුන් වෙනුවෙන් ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට දෙමාපියන් දිරිගැන්වීමක් ලෙස, අවුරුදු 2 ට අඩු දරුවන් වෙනුවෙන් ආරම්භ කරන සෑම ඉතුරුම් ගිණුමක් සඳහාම රු. 500 ක තැන්පතුවක් ලබාදෙන්නට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන තිබෙනවා.”

අමානා බැංකුව දරුවන්ගේ යහපත වෙනුවෙන් දක්වන උනන්දුව ඉතුරුම් ගිණුම් වලට සීමා නොවේ. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව දරුවන්ට වඩාත් යහපත් සමාජ තත්ත්වයක් උදාකර දීමේ අරමුණ මූලික කරගෙන විවිධාකාර ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් දියත් කිරීමටද අමානා බැංකුව කටයුතු කර ඇත. බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහන වන OrphanCare වැඩසටනේ පදනම වන්නේද මෙම අරමුණ වන අතර, එම වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ දෙවැනි වගන්තියට අනුකූලව, කිසිදු ජාති හෝ ආගම් භේදයකින් තොරව මේ වනවිට මෙරට දෙමාපියන් අහිමි දරුවන් 2,800 කට අධික පිරිසකට සෙත සලසා දී තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව