අමානා බැංකුවේ ජංගම ගිණුම එදිනෙදා ගනුදෙනු වඩාත් පහසු කරවයි

Arshad

ශ්‍රී ලංකාවේ විශාලතම මුදල් තැන්පතු ජාලය සතු  අමානා බැංකුව, තම බැංකුවේ ජංගම ගිණුම් හිමියන්ට තැන්පතු ස්ථාන 900 කට අධික සංඛ්‍යාවකදී තමන් සතු මුදල් තැන්පත් කිරීමට  අවස්ථාව සලසා දී ඇති අතර අතර එමගින් ඔවුන්ට වඩාත් පහසුවෙන් එදිනෙදා චෙක්පත් මගින් ගෙවීම් හා අනෙකුත් ගනුදෙනු කටයුතු සිදුකිරීමට අවස්ථාව උදාකර දී ඇත. අමානා බැංකුවේ ශාඛා 32 ක සහ ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථාන 19 ට අමතරව ගනුදෙනුකරුවන්ට Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතයෙන්ද මුදල් තැන්පත් කිරීමටද අවස්ථාව සලසා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ තැන්පතු අංශයේ ප්‍රධානී අර්ෂාඩ් ජමාල්ඩීන් මහතා මෙසේ පැවසී ය. “බොහෝ ව්‍යාපාර තම ගනුදෙනු වඩාත් පහසු කරගැනීම සඳහා ජංගම ගිණුම් භාවිතා කරනවා. ඔවුන් තම එදිනෙදා කටයුතු සඳහා මුදල් සපයා ගන්නේ මෙම ජංගම ගිණුම් මගිනුයි. එම නිසා ගිණුම් හිමියන්ට පමණක් නොව ඔවුන්ගේ නියෝජිතයන්ටද, රට පුරා ඕනෑම ස්ථානයක සිට මුදල් තැන්පත් කිරීමට හැකිවීම අතිශයින් වැදගත්. දැනටමත් අමනා බැංකුව සතුව රටපුරා තැන්පතු ස්ථාන 900 කට අධික සංඛ්‍යාවක් තිබන නිසා, අමානා බැංකුවේ ජංගම ගිණුම රටේ ව්‍යාපාර වලට මෙන්ම පුද්ගලයන්ටත් අනිවාර්යයෙන්ම තිබිය යුතු ගිණුමක් ලෙස පිළිගැනීමට ලක්වී තිබෙන බව මා කියන්නේ සතුටින්.”

ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට අත්වැලක් සැපයීම සඳහා රජය දරන උත්සාහයට සමගාමීව, ජනතාවගේ යහපතට ප්‍රමුඛත්වය දෙන තම බැංකුකරණ ආකෘතිය ඔස්සේ, 2020 දෙසැම්බර් 31 දිනට පෙර ජංගම ගිණුම් ආරම්භ කිරීමේදී අවම තැන්පතුව රු. 5,000 දක්වා අඩු කිරීමටත්, ගනුදෙනුකරුටම විශේෂිත වූ චෙක්පොතක් නොමිලයේ ලබාදීමටත් අමානා බැංකුව පියවර ගෙන ඇත. එමෙන්ම අමානා බැංකුවේ ජංගම ගිණුම් හිමියන්ට සියලුම ගනුදෙනු සඳහා SMS Alert සේවාව, විද්‍යුත් ගිණුම් ප්‍රකාශ (දිනපතා, සතිපතා හෝ මාස්පතා), අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, දොරකඩ බැංකුකරණය පහසුකම (Doorstep Banking) ආදිය මෙන්ම, ජංගම ගිණුමේ අතිරික්ත මුදල් ප්‍රතිලාභ හිමිවන ඉතුරුම් ගිණුමකට මාරු කිරීමේ පහසුකම සලසා දෙන ‘Sweep in Sweep Out’ පහසුකමද හිමි වේ.

 




 

 

අමනා බැංකුව යනු ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින, පොලී රහිත සහ ජනතා යහපත අරමුණු කරගත් බැංකුකරණ ආකෘතියට පූර්ණ වශයෙන් අනුගතව මෙහෙයුම් සිදුකිරීම සඳහා මෙරට තුළ බලපත්‍ර හිමි ප්‍රථම සහ එකම පෞද්ගලික බැංකුවයි. ‘වර්ධනයට මංපෙත් විවර කරමින් ජීවිත සුපෝෂණය කිරීම’ ඉලක්ක කරගත් එම බැංකුව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වන ශාඛා හා ස්වයං බැංකුකරණ සේවා ජාලයක් ඔස්සේ ජනතාවට සේවය සලසන අතර එහි ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර 4500 කට අධික සංඛ්‍යාවක් සහ, ක්ෂණික තැන්පතු සඳහා Pay&Go යන්ත්‍ර 850 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වී තිබේ. තවද අන්තර්ජාල හා ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්, පැය 24 පුරා ක්‍රියාත්මක මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ කාන්තාවන් සඳහා වෙනම බැංකුකරණ ඒකක වැනි පහසුකම්ද පිරිනැමීමට අමානා බැංකුව මේ වනවිට පියවර ගෙන ඇත.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

පවතින ආර්ථික අභියෝග හමුවේ පවා ‘ඕෆන්කෙයා’ වැඩසටහන රට පුරා අසරණ දරුවන් 2,800 කට අධික පිරිසකට සහන සලසමින් සිටින අතර, ඒ සඳහා වූ 5 වන මුදල් නිකුතුවද 2020 නොවැම්බර් මාසයේදී සිදුකරන ලදි.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව