සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම ගිවිසුම් ගතවෙයි.

Image 1 (LBN)

DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙරට ජනතාවට හා ව්‍යාපාරවලට සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණයි. මෙමගින් රටේ ක්‍රමයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම වඩාත් තිරසාර ලෙස සපුරාලීමට හැකි වනු ඇත.

 



 
සූර්ය බලශක්තිය යනු තවදුරටත් හුදෙක් තෝරාගැනීමක් පමණක් නොවේ. වඩාත් පරිසර හිතකාරී හෙට දිනයක් නිර්මාණය කිරීමට නම් අප සියලුම දෙනා අනිවාර්යයෙන්ම සූර්ය බලශක්තිය වෙත යොමු විය යුතු ය. එය පොසිල ඉන්ධන දහනයෙන් බලශක්තිය නිපදවීමේ අවශ්‍යතාව අවම කරන අතරම විදුලිය සඳහා වැයවන වියදම්ද අවම කරයි. එමෙන්ම එය රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහාද අතිශයින් වැදගත් ය.

ජනතාවට වඩාත් පහසුවෙන් සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා DFCC බැංකුව විසින් 11.50% ක තරගකාරී පොලී අනුපාතයක් යටතේ සූර්ය බලශක්ති ණය පහසුකම් හඳුන්වා දී තිබේ. මෙම ණය ආපසු ගෙවීම සඳහා වසර 5 ක කාලයක් හිමි වන අතර, අවශ්‍ය නම් මෙම කාලසීමාව වසර 10 ක් දක්වා දීර්ඝ කරගැනීමේ හැකියාව පවතී. මෙම පහසුකම හේතුවෙන් ජනතාවට අවම මූලික වියදමකින්, සහනදායී ක්‍රමවේදයක් යටතේ සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට හැකියාව ලැබෙන අතර, එමගින් ඔවුන්ට දීර්ඝකාලීනව විශාල මුදලක් ඉතිරි කරගැනීමටද අවස්ථාව හිමි වේ.

මෙවැනි ක්‍රමවේද හේතුවෙන් ජනතාව වැඩි වැඩියෙන් සූර්ය බලශක්තිය වෙත යොමු වනු ඇතැයි DFCC බැංකුව විශ්වාස කරයි. මෙමගින් ජනතාවට තවදුරටත් සාම්ප්‍රදායික විදුලි බල සැපයුම මත යැපීමේ අවශ්‍යතාව පැන නොනගින අතර, විදුලි ගාස්තු වැඩි වීමේ අවදානමද මගහැරී යයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, තිරසාරත්වය හා ප්‍රජාවන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් DFCC බැංකුව දක්වන උනන්දුව මෙම හවුල්කාරීත්වය මගින් මැනැවින් නිරූපණය වන බවයි. ජනතාවට වඩාත් පහසුවෙන් සූර්ය බලශක්ති විසඳුම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් පරිසරයට යහපතක් සිදුවන අතරම, ජනතාවටත් ව්‍යාපාරවලටත් තම බලශක්ති වියදම් මෙන්ම කාබන් දහනයද අවම කරගැනීමට හැකි වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර, DFCC බැංකුව සමග අත්වැල් බැඳගැනීම මගින් රටේ වැඩි පිරිසක් වෙත සූර්ය බලශක්ති නිෂ්පාදන විසඳුම් පිරිනැමීමට තමන්ට හැකියාව ලැබෙනු ඇති බවට David Peiris Renewable Energy (පුද්.) සමාගමේ සභාපති ජයරත්න රත්නායක මහතා තම අදහස් පළකළේ ය. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙමගින් ශ්‍රී ලංකාව තිරසාර බලශක්තිය වෙත මාරු වීමේ ක්‍රියාවලිය වේගවත් වන අතරම, පරිසරයට මෙන්ම ජනතාවට හා ව්‍යාපාරවලටද ආර්ථික වශයෙන්ද ප්‍රතිලාභ රැසක් අත්වනු ඇති බවයි.

DFCC බැංකුව සහ David Peiris Renewable Energy සමාගම අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, තිරසාරත්වය මෙන්ම ජනතාව සවිබල ගැන්වීම වෙනුවෙන් දෙපාර්ශ්වය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැක. ඉදිරියේදී මේ පිළිබඳව තම සමාජ මාධ්‍ය පිටු ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින්, වැඩි පිරිසකට මෙම හවුල්කාරීත්වය මගින් ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව ලබාදීමට David Peiris Renewable Energy සමාගම සැලසුම් කර තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව