ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් වෙතින් PickMe ගෙවීම් සඳහා සුවිශේෂී API සම්බන්ධතා විසඳුමක්

standard-chartered

 




 

 

තත්‍ය කාල සම්බන්ධතාව හරහා PickMe රියදුරු-හවුල්කරුවන්ට ක්‍ෂණික ක්‍රමවේදයක්

2021 ජූනි 01, කොළඹ: ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා (Standard Chartered Sri Lanka) තම ගෙවීම් ක්‍රමවේදයන් තවදුරටත් වැඩිදියුණු කරමින්, මෙරට ප්‍රථම අන්තර් බැංකු ක්‍ෂණික ගෙවීම් API (යෙදුම් ක්‍රමලේඛ අතුරු මුහුණත – Application Programming Interface) සම්බන්ධතා විසඳුම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඩිජිටල් මොබිලිටි සොලුෂන්ස් (පුද්.) සමාගම [Digital Mobility Solutions Lanka (Private) Limited] සතු සන්නාමයක් වන PickMe වෙනුවෙන් මෙම නව අතුරු මුහුණත සැලසුම් කර ඇත.

මෙම විසඳුම මගින්, පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු (CEFT)  නිෂ්කාශන පද්ධතියට සම්බන්ධ සියලුම බැංකු වෙත එසැණින් මුදල් මාරු වීම සිදුවන නිසා, රියදුරු-හවුල්කරුවන් තම ගිණුම් කුමන බැංකුවක පවත්වාගෙන ගියද අදාළ ගිණුමට ක්‍ෂණික මුදල් බැර වේ. මෙමගින් එම රියදුරු-හවුල්කරුවන්ට සාම්ප්‍රදායික බැංකු සේවා වේලාවන්ට සීමා නොවී, පැය 24 පුරා තමන් ළඟම පිහිටි ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගත හැකි වේ.

මෙම API විසඳුම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් හි ශ්‍රී ලංකාවේ ගනුදෙනු බැංකුකරණ ප්‍රධානී රොජර් නොර්ටන් මෙසේ පැවසී ය. “ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් හි අප විශ්වාස කරන්නේ, නිර්මාණශීලී බැංකුකරණ විසඳුම් වල සාර්ථකත්වය රඳා පවතින්නේ ඒවා ඔස්සේ තම ක්‍රමෝපායික ව්‍යාපාර සැලසුම් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට සේවාදායකයන්ට ලැබෙන හැකියාව මත බවයි. අපගේ API විසඳුම මගින්, බැංකුකරණ ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා ගිය ගනුදෙනු සේවා පදනමක් PickMe හට හිමිවෙනවා. එය ඔවුන්ගේ මුල්‍ය ක්‍රියාවලියට වැඩි වැඩියෙන් රියදුරු-හවුල්කරුවන් ඇතුළත් කරගැනීමට ලැබෙන අවස්ථාවක් බවටත් පත්වේවි. ශ්‍රී ලංකාවේ විශාලතම හා සංකීර්ණතම සමාගම් අතරින් එකක් වන PickMe වෙනුවෙන් මෙවැනි සේවාවක් හඳුන්වා දීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා.”

මෙම විසඳුම හේතුවෙන් දැන් PickMe රියදුරු-හවුල්කරුවන්ට, PickMe ජංගම යෙදුම හරහා ඉතාමත් පහසුවෙන්, තමන්ට කැමති වෙලාවක, ගෙවීම් ලබාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැක.  එමෙන්ම මෙමගින් සමාගමේ ගෙවීම් වාර්තාකරණ පද්ධතිය ක්‍ෂණිකව යාවත්කාලීන වන අතර, ගෙවීම් සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් වන අවස්ථාවේ සිට එම ගෙවීම් සිදුකර අවසන් කිරීම දක්වා සමස්ත ක්‍රියාවලිය පූර්ණ ඒකාබද්ධතාවකින් යුතුව සිදුවේ.

PickMe හි ප්‍රධාන මුල්‍ය නිලධාරී ශිෆාස් රියාස්, මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය. “රියදුරු-හවුල්කරුවන් යනු PickMe මෙහෙයුම් කටයුතු වලට අතිශය වැදගත් දායකත්වයක් ලබාදෙන පිරිසක්. විශේෂයෙන්ම දැනට පවතින අසීරු තත්ත්වය යටතේ, ඔවුන්ගේ මුල්‍ය අවශ්‍යතා සපුරාලන දිගුකාලීන විසඳුමක් නිර්මාණය කිරීම ගැන අපි ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවට කෘතඥ වෙමු. CEFT හුවමාරු ක්‍රමවේදය නිසා අප සමග දැනටමත් සම්බන්ධ වී සිටින රියදුරු-හවුල්කරුවන්ට වඩාත් ඉක්මනින් තමනට හිමිවිය යුතු ගෙවීම් ලබාගත හැකිවන අතරම, නව රියදුරු හවුල්කරුවන්ටත්, ඔවුන් ගිණුම් පවත්වාගෙන යන බැංකුව කුමක් වුවත්, ශ්‍රී ලංකාවේ අංක එකේ හවුල් ප්‍රවාහන (ride-sharing) සේවාව වන PickMe සමග එක්වීමට හැකියාව ලැබේවි.”

මෙම API විසඳුම භාවිතා කිරීමේදී සමාගමේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන අතර, PickMe ජංගම යෙදුම හරහා  යොමුකරනු ලබන ගෙවීම් ඉල්ලීම් සෘජුවම LankaPay ක්‍ෂණික ගෙවීම් යාන්ත්‍රණය (CEFT) වෙත යොමුකෙරේ.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා හි ගනුදෙනු බැංකුකරණ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී දේවක විජේදෝරු මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. ” PickMe සහ ඔවුන්ගේ රියදුරු-හවුල්කරුවන් වෙනුවෙන් මෙවැනි විසඳුමක් හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. තොරතුරු ගලනය සඳහා PickMe සමාගමට තත්‍ය-කාලීන සම්බන්ධතාවක් ලබා දීම මගින්, සේවාව තුළ එතෙක් පැවති තීරණාත්මක පරතරයක් පියවමින්, යෙදුම හරහා එක ක්ලික් කිරීමකින් තම ගෙවීම් කළමනාකරණය කිරීමට රියදුරන්ට අවස්ථාව ලබාදීමට අපට හැකිවී තිබෙනවා. අපගේ මෙම නවතම විසඳුමෙන් ප්‍රයෝජන ගනිමින්, තම ඩිජිටල් ව්‍යාපාර මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කරගන්නා මෙන්, අනෙකුත් සමාගම් හා ආයතන වලටත් ආරාධනා කිරීමට අප කැමතියි. එය ඔවුන්ගේ සේවාදායකයන්ට පමණක් නොව, පොදුවේ සමස්ත ප්‍රජාවටම යහපතක් සලසන පියවරක් වේවි.”

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව