‘ශාන්තුවරයින්ගේ සටන’ අප්‍රේල් මසදී

2 (LBN)

2025 මාර්තු 25, කොළඹ: ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් වංශ කතාවේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, 91 වැනි ශාන්තුවරයින්ගේ සටන සහ 51 වැනි ශා.ජෝෂප්-ශා.පීතර සීමිත ඕවර තරගය පිළිබඳ නිළ මාධ්‍ය හමුව 2025 මාර්තු 25 වනදා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේදී පැවැත්විණි.

ශා.ජෝෂප් සහ ශා.පීතර විදුහල්වල අදියුරු පියතුමන්ලා මෙන්ම, කණ්ඩායම් දෙකෙහි නායකයින් හා උප නායකයින් ද, පාසල් දෙකෙහි ඒකාබද්ධ ක්‍රිකට් කමිටුවේ සාමාජිකයින් ද ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම අවස්ථාව, මොරිස් ලෙ ගොක් සහ පීටර් ඒ. පිල්ලෙයි අනුස්මරණ කුසලාන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනු ඇත.
 



 
මෙම පාසල් දෙක අතර තුන්දින තරගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයවන අතර එම තරගය 2025 අප්‍රේල් මස 3 සිට 5 වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ලොව පුරා විසිරී සිටින පාසල් ආදි සිසුන් දහස් ගණනක් මෙම ඓතිහාසික අවස්ථාව දැකබලා ගැනීමටත්, තම පාසල වෙනුවෙන් සහයෝගය ලබා දීමටත් සැදී-පැහැදී සිටිති. තවද. තරගකාරිත්වයෙන් සහ උද්වේගයෙන් පිරි එක්දින තරගය 2025 අප්‍රේල් 26 වනදා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඉතිහාසයේ මෙතෙක් පැවති තරග අතරින් ශා.ජෝෂප් විද්‍යාලය තරග 12 ක් ද, ශා. පීතර විද්‍යාලය තරග 10 ක් ද ජයගෙන ඇති බැවින් කණ්ඩායම් දෙකම මෙම ඓතිහාසික මොරිස් ලෙ ගොක් අනුස්මරණ කුසලානය තම පාසල වෙනුවෙන් හිමිකර ගැනීමට දැවැන්ත සටනක නිරතවනු ඇත.

“ශාන්තුවරයින්ගේ සටන යනු, ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් තරග අතුරින් වඩාත් අවධානය දිනා ගන්නා තරගයක්. 91 වැනි වරටත් එම සුහද සටන මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දායාද කිරීමට හැකි වීම පිළිබඳවත්, ඓතිහාසික සියවස් සැමරුමක ආරම්භය මෙලෙස සනිටුහන් කිරීමට හැකි වීම පිළිබඳවත් අප ආඩම්බර වනවා,” යනුවෙන් ශා.ජෝෂප් විද්‍යාලයීය අදියුරු ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමන් සඳහන් කළේය.

එළඹෙන ශාන්තුවරයින්ගේ සටන පිළිබඳ අදහස් පළ කරමින් කොළඹ ශා.පීතර විද්‍යාලයේ අදියුරු ගරු රෝහිත රොද්‍රිගු පියතුමන් සඳහන් කළේ, “මෙරට කීර්තිමත් කතෝලික පාසල් දෙකක් ලෙස ශා.ජෝෂප් විද්‍යාලයත්, ශා.පීතර විද්‍යාලයත් අතර සාඩම්බර ක්‍රීඩා ඉතිහාසයක් ගොඩනැගී තිබෙනවා. මෙවර ප්‍රථම වරට තුන්දින තරගයක් ලෙස මෙම තරගය පැවැත්වෙන බැවින්, එය කණ්ඩායම් දෙකටම ඓතිහාසික අවස්ථාවක් වනවා. පාසල් දෙකෙහිම දශක ගණනක පරපුර නියෝජනය කරමින් ඔවුන් ඉතාම උද්වේගකර ක්‍රීඩා කෞශල්‍යයක් පෙන්නුම් කරනු ඇති බව මගේ විශ්වාසයයි. කණ්ඩායම් දෙකෙහිම නායකයින් හට මගේ සුබපැතුම් එක් කරනවා,” යනුවෙනි.

පස්වැනි වාර්ෂික වර්ණලාභී කෙනත් ලියනගේ ශා.ජෝෂප් විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, සිව්වැනි වාර්ෂික වර්ණලාභී අභිෂේක් ජයවීර උප නායකත්වය දරයි. තුන්වැනි වාර්ෂික වර්ණලාභී ඔවීන් සල්ගාදු ශා.පීතර විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, සිව්වැනි වාර්ෂික වර්ණලාභී ලෂ්මික පෙරේරා එම කණ්ඩායමේ උප නායකත්වය දරයි.

Marina Square, කීල්ස් සහ එලිෆන්ට් හවුස් ශාන්තුවරයින්ගේ සටන සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙන අතර, මෙරට ප්‍රමුඛත ම ක්‍රීඩා ප්‍රවර්ධකයාවන ඩයලොග් ආසියාටා සමාගම අඛණ්ඩව 9 වන වරටත් ප්‍රධාන අනුග්‍රාහක ලෙස අත්වැල් බැඳගෙන සිටී. Jetwing Hotels, Russell’s Catering සහ Nestle රන් අනුග්‍රාහකයින් ලෙස ද, හැටන් නැෂනල් බැංකුව, හේලීස්, උස්වත්ත, Amro, Utrax Capital, Uber, Aarons Clothing, හේමාස් හොස්පිටල්ස් සහ The Papare රිදී අනුග්‍රාහකයින් ලෙස ද, Dominos, Aitken Spence Travels, Yes FM, Emerging Media, Nutrifix, Alliance Finance සහ සිලෝන් බිස්කට්ස් සමාගම ලෝකඩ අනුග්‍රාහකයින් ලෙස ද මෙම තරගාවලිය සඳහා ජවය ලබා දෙයි.  මෙම සන්නාම විසින් අඛණ්ඩව ලබා දෙනු ලබන සහයෝගය හේතුවෙන් ශාන්තුවරයින්ගේ සටනේ ප්‍රෞඩත්වය එලෙසම වත්මන් පරපුරට දායාද කිරීමට හැකි වී තිබේ.

තරගාවලිය සඳහා සියලු කටයුතු මේවන විට සූදානම් වෙමින් පවතින බැවින්, මෙරට ප්‍රමුඛත ම කතෝලික පාසල් දෙකක් අතර SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ද්වන්ධ සටන කෙරෙහි ඇති අවධානය දිනෙන්-දින වර්ධනය වෙමින් පවතී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව