නවීන තාක්ෂණයෙන් සපිරි ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව හම්බන්තොටදී විවෘත වෙයි

Lanwa Sanstha Cement Opening Image#2 (2)

 



 

 

 

නවීන තාක්ෂණයෙන් සපිරි ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ කර්මාන්තශාලාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හම්බන්තොට මිරිජ්ජවිලදී විවෘත කෙරිණි.

අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, නිවාස කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ, වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන, වෙළෙඳ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන, බලශක්ති අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි, සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න, ඉඩම් අමාත්‍ය ගරු එස්.එම්. චන්ද්‍රසේන, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.වී. චානක සහ සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දුමින්ද දිසානායක ඇතුළු මහත්ම මහත්මීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආයෝජන මණ්ඩලය ව්‍යාපෘතියක් ලෙස අක්කර 63 ක භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම කර්මාන්තශාලාව වාර්ෂිකව සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 4 ක් නිෂ්පාදනය කරනු ඇතැයි අපේක්ෂිතය. මුළුමනින් ම ස්වයංක්‍රියකරණය කරන ලද fully automated stacker reclaimer yard ඇතුළුව ගබඩා කාර්යක්ෂමව, අපතේ නොයන පරිදි තිරසර අන්දමින් බාගත හැකි bridge type ship unloaders වැනි නවීන තාක්ෂණික අංග රැසකින් මෙම කර්මාන්තශාලාව සමන්විතය.

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීම සඳහා පනවන ලද සිමෙන්ති ආනයන තහනම හේතුවෙන් උද්ගත වී ඇති සිමෙන්ති හිඟයට පිළියමක් ලෙස දේශීය ඉදිකිරීම්කරුවන් සවිබලගැන්වීමේ සහ මෙරටට විදේශ විනිමය ලබා දෙමින් ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබා දීමේ ආයෝජනයක් බවට මෙය පත්වනු ඇති බව ආයෝජකයින්ගේ විශ්වාසයයි. උත්සව සභාවෙන් අනතුරුව ආරාධිත අමුත්තෝ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී වූහ.

“ඉදිකිරීම් ක්ෂේත්‍රය යනු රටේ දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබාදෙන ප්‍රධානත ම අංශයකි. තාක්ෂණය, ආචාර-ධර්ම සහ තිරසාරත්වය පිළිබඳ සැලකීමේදී අප රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගෝලීය වෙළෙඳපොළ තුළ තරගකාරී වාසියක් උදාවී තිබෙනවා. වර්තමානයේ අපට අත්‍යවශ්‍ය ආයෝජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මනා පිටිවහලක්වනු ඇති බව මාගේ විශ්වාසයයි,” යනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් එතුමා සඳහන් කළේ, විශේෂයෙන් උසස් තාක්ෂණික නිෂ්පාදන සඳහා මෙවැනි ආකාරයේ ආයෝජන ආකර්ෂණයකර ගැනීම සඳහා හම්බන්තොට අපනයන පිරිසැකසුම් කලාපය සූදානමින් සිටින බවය.


මෙහිදී අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම මගින් ආර්ථිකය ගොඩනැගීම සඳහා වත්මන් රජය කැපවී සිටින බවය. ලංවා සංස්ථා සිමෙන්ති සමාගම නවෝත්පාදනය සමගින් දෙස්-විදෙස් වෙළෙඳපොළ සඳහා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන පිරිනමමින් එහි මවු සමාගමවන ලංවා සංස්ථා වානේ සමාගමේ ප්‍රෞඩ උරුමය ඉදිරියට ගෙන යනු ඇති බවට තමා විශ්වාසකරන බව ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආනයන මත පැනවූ තාවකාලික තහනම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඇති වී තිබෙන අපහසුතා සඳහා මෙම කර්මාන්තශාලාව මනා පිළියමක්වනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා සඳහන් කළේ, රටට අත්‍යවශ්‍ය මොහොතක මෙම කර්මාන්තශාලාව දේශීය ඉදිකිරීම් කර්මාන්තයට නව පන්නරයක් ලබාදෙනු ඇති බවය. “ආනයන සීමා හේතුවෙන් දේශීය ඉදිකිරීම් කර්මාන්තය තවදුරටත් අපහසුතාවට පත්වීමෙන් වළක්වා ගැනීම සඳහා අප මෙම ව්‍යාපෘතිය කඩිනමින් දියත් කළා. මෙමගින් අප ලබා දෙන්නේ සිමෙන්ති හිඟයට පිළියමක් පමණක් නොවේ; ප්‍රමිතියෙන් උසස්, සුරක්ෂිත සහ කල්පවත්නා නිෂ්පාදනයක්.”

“දේශීයව පමණක් නොව, කලාපීය වශයෙන් ද මෙවැනි නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි. කර්මාන්තශාලා පරිශ්‍රය සහ හම්බන්තොට වරාය අතර දිවෙන කිලෝමීටර 2.4 ක කන්වේයරය ඇතුළු නවීනත ම ජර්මන් තාක්ෂණයෙන් බලගැන්වුණු මෙම ව්‍යාපෘතිය උසස් ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් ලබාදීම තහවුරු කරනවා,” යනුවෙන් ඒ මහතා අවධාරණය කළේය.

ලංවා සංස්ථා සිමෙන්ති සමාගම යනු, 1960 දශකයේ පටන් මෙරට ප්‍රමුඛත ම වානේ කම්බි නිෂ්පාදන සහ අපනයන සමාගමවන ලංවා සංස්ථා වානේ සමාගමට අනුබද්ධිත සමාගමකි,

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව