ධීවර පර්යේෂණ සහයෝගිතාව සඳහා නෝර්වේ රාජ්‍යයේ අඛණ්ඩ සහයෝගය

DSC_0365-3

 




මෙරට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ නෝර්වේහි සාගරික පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ ධීවර පර්යේෂණ කටයුතු සම්බන්ධ සහයෝගිතාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අත්වැල් බැඳ ගනී. අද දින පැවති විශේෂ උළෙල, 2017 වසරේ පටන් පැවති එම සාර්ථක සහයෝගිතාවය සංකේතවත් කරයි. ශ්‍රී ලංකාවේ සාගර සම්පත් වඩාත් උසස් සහ තිරසර අන්දමින් කළමනාකරණය කිරීමේ අරමුණින් යුතුව මෙම ආයතනය ද්විත්වය ශ්‍රී ලංකාවේ මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත පිළිබඳ පර්යේෂණ කටයුතුවල නිරතවනු ඇත.

නෝර්වේ රාජ්‍යයේ මුල්‍ය සහයෝගිතාව හේතුවෙන් 2018 වසරේදී Dr. ෆ්‍රිජොෆ් නැන්සන් නෝර්වේ පර්යේෂණ යාත්‍රාවේ මගින් මෙරට වෙරළබඩ මුහුදු තීරයේ පාරිසරික පද්ධති සමීක්ෂණයක් සිදු කිරීමේ අවස්ථාව උදා විය. එම ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව අවසන් වූ පසුව නෝර්වේ තානාපති කාර්යාලය එම ව්‍යාපෘතියේ දෙවන අදියර අනුමත කළ අතර, ධීවර සම්පත් කළමනාකරණ මෙවලම් වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගනිමින් නෝර්වේජියානු ක්‍රෝන මිලියන 8.75 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක) අරමුදලින් 2022 දක්වා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම අවස්ථාවේදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා සහ මාලදිවයින් රාජ්‍යයේ නෝර්වේ තානාපතිනී ගරු ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් මහත්මිය සඳහන් කළේ, “නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කටයුතු සම්බන්ධව ද්වීපාර්ශ්වික සහයෝගීතාවට මෙන්ම සමුද්‍රීය සම්පත් සඳහා දත්ත පදනම් වූ කළමනාකරණ පද්ධති ස්ථාපනය කිරීම හරහා ශ්‍රී ලංකාවට සිය මත්ස්‍ය තොග වඩාත් හොඳින් අධීක්ෂණය කිරීමේ හැකියාව ලබා දීම සඳහා ද කැප වී සිටිනවා” යනුවෙනි. නෝර්වේ රාජ්‍යය සහ ශ්‍රී ලංකාව සමග ඇති මත්ස්‍ය සම්පත් සහයෝගිතාව 1970 දශකය දක්වා දිවෙන බවත්, ධීවර සම්පත් කළමනාකරණය, පර්යේෂණ සහ අධ්‍යාපනය සහ පුද්ගලික අංශයේ සංවර්ධනය ද එම සහයෝගීතාවට ඇතුළත් බවත්, 2013 වසරේ සිට 2019 වසර දක්වා මෙරට ධීවර අංශය වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන මිලියන 19.5 ක් (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක්) යොදවා ඇති බවත් එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

සමුද්‍රීය සහ ධීවර කටයුතු සම්බන්ධව දැනුවත් තීරණ ගැනීම සඳහාත්, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට නව සහ උසස් තාක්ෂණය හඳුන්වා දීමටත් මෙම පර්යේෂණ සොයාගැනීම් ශ්‍රී ලංකාවේ අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමග ද බෙදාහදා ගැනීමේ වැදගත්කම ද තානාපතිනී එස්කෙඩල් මහත්මිය මෙහිදී අවධාරණය කර සිටියාය. සමුද්‍රීය පරිසරය සංරක්ෂණය කිරීම සහ තිරසර අන්දමින් සමුද්‍ර, මුහුදු සහ සමුද්‍රීය සම්පත් භාවිත කිරීම සඳහා තිරසර සංවර්ධන ඉලක්ක 14 (SDG 14) වල වැදගත්කම ද, ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික සංවර්ධනයට ධීවර අංශයේ දායකත්වය ලබා දීමේ වැදගත්කම ද ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.

 




 

 

NARA ආයතනයේ සභාපති මහාචාර්ය නවරත්නරාජා මහතා ද මෙහිදී සිය අදහස් පළ කරමින් සඳහන් කළේ, “IMR ආයතනයේ විද්‍යාඥයින්ගේ තාක්ෂණික සහයෝගය, විද්‍යාත්මකව නිසි සමුද්‍රීය දත්ත එකතු කිරීමේ හැකියාව ලබා දෙන අතරම ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින්ගේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා මහඟු සහයෝගයක් ලබා දෙනවා.” යනුවෙනි. අතීතයේ පටන් නෝර්වේ රාජ්‍යය මෙරට ධීවර අංශය සඳහා සුවිශේෂී සහයෝගයක් ලබා දී ඇති බවත්, ධීවර කටයුතු අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල මගපෙන්වීම යටතේ NARA ආයතනය අනාගතයේදී IMR ආයතනය සමග තාක්ෂණික සහයෝගිතාව ශක්තිමත් කරන අතර දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය ගරු කාංචන විජේසේකර මහතා ද මෙහිදී සිය අදහස් පළ කළේය. “ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ධීවර අංශය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දියත් කර ඇති ක්‍රමෝපායික සැලසුම, විද්‍යාත්මක සහ නවීන තාක්ෂණය සාර්ථකව භාවිත කරමින් එම අංශය සංවර්ධනය සහ කළමනාකරණය ඉලක්කකර ගනිමින් සැලසුම් කර තිබෙනවා. ධීවර කටයුතු කළමනාකරණය සඳහා විද්‍යාත්මක නිර්දේශ ලබා ගැනීමට මෙරට විද්‍යාඥයින්ගේ ධාරිතා වර්ධනය ඉතාම වැදගත් වනවා.”

මෙම අවස්ථාවේදී අදහස් පළ කළ, ධීවර කටයුතු අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ධීවර අංශය සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලංකා රජය අලුත් අවස්ථා කෙරෙහි අවධානය යොමු කර ඇති බවය. “මෙවැනි පර්යේෂණ ව්‍යාපෘති අපගේ ධීවරයින්ට මෙන්ම සමස්තයක් ලෙස ධීවර ක්ෂේත්‍රයට ද මහඟු අවස්ථාවක් වනවා. ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර ධීවර කටයුතු සම්බන්ධව දිගුකාලීන ද්විපාර්ශ්වයික සබඳතාවක් පවතින අතර ඒ හරහා මෙරට ධීවර ජනතාවගේ ජීවනෝපාය තහවුරු කිරිමටත්, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරනවා.” ශ්‍රී ලංකාව යනු සමුද්‍රීය සම්පත්වලින් බහුල දිවයිනක්වන බවත් එම සම්පත් පර්යේෂණ දත්ත මත පදනම් වූ නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් තිරසර අන්දමින් කළමනාකරණය කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. පවත්නා අභියෝගාත්මක වාතාවරණය හමුවේ වුව ද නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය වෙනුවෙන් අමාත්‍යවරයා නෝර්වේ රජයට සිය ස්තූතිය පළ කළේය.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය ගරු කාංචන විජේසේකර, ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ගරු ගොඩ්ෆ්‍රී කුරේ, ධීවර කටයුතු අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක, විසිතුරු මත්ස්‍ය රාජ්‍ය ආමාත්‍යංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම, NARA ආයතනයේ සභාපති මහාචාර්ය නවරත්නරාජා යන මහත්ම මහත්මීහු මෙන්ම NARA ආයතනය, ධීවර කටයුතු දෙපාර්තමේන්තුව, ධීවර කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් ද වෙනත් රජයේ නිලධාරීහු කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව