
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම නියෝජනය කරන වාහන කලඹ ප්‍රවර්ධනය කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ ආකර්ශනීය ලීසිං පහසුකම් ලබා දීමේ උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ ඇත.
මෙහිදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මගින් මෙම සහයෝගීතාවය නිවේදනය කල අතර ආයතන දෙක අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කරන ලදී.
මෙම ගිවිසුම යටතේ, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හි ලියාපදිංචි නොකරන ලද සහ පෙර හිමිකාරීත්වයක් පැවති වාහන සඳහා කොමර්ෂල් බැංකුව වෙතින් ලීසිං පහසුකම් ලබාගැනීමේදී සුවිශේෂී ප්රතිලාභ පරාසයක් අත්විඳීමට ගැනුම්කරුවන්ට හැකියාව පවතියි. බැංකුව මගින් තරඟකාරී පොලි අනුපාත සහ විශේෂිත ලීසිං පැකේජයන් ලබාදීම ඔස්සේ ගැනුම්කරුවන්ට ඔවුන්ගේ ආදායම් රටාවන්ට අනුකූල වූ නැවත ගෙවීම් කටයුතු සකසා ගත හැකිය. මීට අමතරව, ලියකියවිලි ගාස්තු සඳහා 50% ක නිදහස් කිරීමක් ද ලබාදෙනු ඇත. මෙම ලීසිං සේවා සදහා ප්‍රවේශය සැපයීමට කොමර්ෂල් බැංකුවේ දිවයින පුරා පුළුල් ශාඛා ජාලය සහ සියලුම ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අලෙවිසැල් ද ප්‍රවර්ධන කාලසීමාව පුරාවට කැපවී කටයුතු කරනු ඇත.
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් ගැනුම්කරුවන්ට වසර දෙකක එන්ජින් සහ ගියර් බොක්ස් වගකීමක් සහ ලියාපදිංචි නොකළ වාහනවල හයිබ්‍රිඩ් බැටරි සදහා වසර තුනක වගකීමක්ද මෙම ප්රතිලාභ ඔස්සේ ලබාදෙයි. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් වාහන අමතර කොටස් මිලදී ගන්නන් සඳහා 10% ක වට්ටමක් සහ පළමු වසර තුළදී ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සර්විස් පාර්ක් හි කම්කරු ගාස්තු සඳහා 10%ක වට්ටමක් ද ලබා දෙනු ඇත.
මෙම ප්‍රවර්ධන වැඩසටහන ජුනි මස 06 වනදා සිට 2025 දෙසැම්බර් මස 31 වන දා දක්වා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වෙතින් ලබා ගතහැකි සියලුම පරාසයේ වාහන සඳහා ක්‍රියාත්මක වේ.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier 1 බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් පිහිටුවීම සඳහා බැංකුවට මෑතකදී ඩුබායි මූල්‍ය සේවා අධිකාරියෙන් අනුමැතිය ලැබුණු අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.