කොමර්ෂල් බැංකුව වයිබර් තුළින් බැංකුකරණ සේවා හඳුන්වා දෙයි

Viber Banking launch

 




 

 

වයිබර් තුළ තිබෙන එකිනෙකට ක‍්‍රියාකාරී කෘත‍්‍රිම බුද්ධි (AI) චැට්බොට් එකක් තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් නොවන අයට ක්ෂණික බැංකු සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත.

මෙම සේවාව ආරම්භ කිරීමත් සමගම වයිබර් භාවිතා කරන්නන්ට නිවාඩු දිනද ඇතුළත්ව  ඕනෑම වේලාවක  ඕනෑම තැනක සිට කොමර්ෂල් බැංකුවේ සේවා බාධාවකින් තොරව ලබාගැනීමේ අවස්ථාව හිමිවන බව බැංකුව සඳහන් කරයි. මෙම සේවාව ‘Bank with ComBank on Viber’ නමින් නම්කර තිබෙන අතර කොමර්ෂල් බැංකු ශාඛාවක් වෙත නොයා මූලික බැංකු සේවා මේ තුළින් ලබාගැනීමට හැකි වේ.

ශ‍්‍රී ලංකාවේ සිටින වයිබර් භාවිතා කරන්නන් සඳහා පුරෝගාමීව ආරම්භ කළ මෙම සේවාව පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ලියාපදිංචි භාවිතා කරන්නන් මිලියන 15 කට වැඩි පිරිසක් සමඟ ආසියානු ශාන්තිකර කළාපයේ වයිබර් වෙළෙඳපොළවල් වලින් මුල් පහ අතර ශ‍්‍රී ලංකාවත් සිටිනවා. ඒ නිසා, තාක්ෂණයෙන් ඉහළ බැංකුවක් ලෙස වඩාත් කාලීන විසඳුම් ගනුදෙනුකරුවන්ට ලබාදීමට කැපවීමක් ලෙස මෙම ජනප‍්‍රිය සේවාව තුළින් බැංකු සේවා ලබාදීම වඩාත් තර්කානුකූල පියවරක් ලෙස සඳහන් කළ හැකියි. මෙය බැංකුවේ සමාජ ජාලා බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල තවත් සංධිස්ථානයක් වෙනවා.’

මේ අනුව, ‘Bank with ComBank on Viber’ සේවාව භාවිතා කිරීම සඳහා පළමුවෙන්ම ‘App Store’ හෝ ‘Google Play’ මගින් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයට වයිබර් ඇප් එක ඉන්ස්ටෝල් කර ඉන්පසුව, ‘Bank with ComBank on Viber’ සේවාව සර්ච් කළ යුතුවේ. මෙහිදී, කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමියන්ට ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම, ගිණුමේ ඉතිහාසය පිරික්සීම, චෙක් පොතක් ඉල්ලා සිටීම ඇතුළු සේවා ගොන්නක් ලබාගැනීමේ අවස්ථාව උදාවන අතර ගනුදෙනුකරුවන්ට සහ ගනුදෙනුකරුවන් නොවන අයට මේ තුළින් ස්ථාවර තැන්පතු පොලී අනුපාත සහ විනිමය අනුපාත දැනගැනීම, කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් ඇප් සේවාවේ ස්වයංව ලියාපදිංචි වීමේ අවස්ථාව, ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම මගින් අළුතෙන් ගිණුමක් විවෘත කිරීම හෝ පුද්ගලික ණය, නිවාස ණය සහ ලීසිං පහසුකම් අයදුම් කිරීමේ අවස්ථාව ලබාගත හැකිවේ.

මේ පිළිබඳව වයිබර් හි, ආසියානු පැසිෆික් කළාපයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, David Tse මහතා මෙසේ අදහස් දැක්වීය. ‘තමන්ගේ ගනුදෙනුකරුවන්ට වයිබර් හරහා ඉතාමත් පහසු සහ ආරක්ෂාකාරී බැංකුකරණ පහසුකම් ලබාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව අප සමග ඒකාබද්ධවීම ඉතාමත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙසින් සලකන අතර අපි ඒ පිළිබඳව ආඩම්බර වෙනවා. ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී බැංකුවක් ලෙස ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම් ඉහළ නැංවීමට නවෝත්පාදනය ඉතාමත් වැදගත් වනබව කොමර්ෂල් බැංකුව හඳුනාගෙන තිබෙනවා. මේ නිසා, වයිබර් තුළින් කොමර්ෂල් බැංකුවට සිය ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු එකිනෙකට ක‍්‍රියාකාරී තාක්ෂණය පිරිපුන් සේවාවක් ලබාදිය හැකියි.’

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 

 



 
 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව