කොමර්ෂල් බැංකුව ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ ලෙස පිදුම් ලබයි

Webp.net-resizeimage

 



 

 

 

කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය බැංකු මෙහෙයුම වන බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසර අවසන් වනවිට ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ ලෙස සම්මානයට ලක්වී තිබේ. මීට අමතරව, බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසරේදී ස්වාධීන ආයතන දෙකක් විසින් බංග්ලාදේශය තුළ ක‍්‍රියාත්මක ‘හොඳම විදේශීය බැංකුව’ ලෙස තෝරාගෙන තිබෙන අතරම තවදුරටත් ‘AAA’ ණය වර්ගීකරණය එලෙසම පවත්වාගැනීමට සමත්වී ඇත.

කොමර්ෂල් බැංකුවට ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ යන සම්මානය ඩුබායි පදනම් කරගත් ‘ඉන්ටර්නැෂනල් බිස්නස්’ සඟරාව විසින් 2021 වසරේදී පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයකදී ප‍්‍රදානය කළ අතර මෙම සම්මාන මගින් ජාත්‍යන්තර ව්‍යාපාරික සහ මූල්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ ආයතනවල ජයග‍්‍රහණ ගෞරවයට පාත‍්‍ර කරයි. මෙම සම්මානය මගින් බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව වසර ගණනාවක් පුරා ලබාගත් තිරසාර සහ ස්ථාවර වර්ධනය ඇගයීමට ලක්කර තිබේ.

මීට අමතරව, බංග්ලාදේශ කොමර්ෂල් බැංකුවට 2021 වසරේදී එංගලන්තය පදනම් කරගත් ආයතන දෙකක් වන ‘ද ග්ලෝබල් බිස්නස් අවුට්ලූක් (GBO) සඟරාව’ සහ ලෝකය පුරා මූල්‍ය අංශයේ විවිධ පැතිකඩවල ඉහළ කාර්යසාධනයන් ඇගයීමට ලක්කරන මූල්‍ය සඟරාවක් වන ‘ග්ලෝබල් ඉකොනොමික්ස් ලිමිටඞ්’ විසින් ප‍්‍රධාන පෙළේ සම්මාන ලබාදී ඇත.

මෙම සඟරා දෙක විසින්ම බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව ‘බංග්ලාදේශයේ හොඳම විදේශීය බැංකුව’ ලෙසින් තෝරාගෙන තිබෙන අතර සේවා විශිෂ්ටත්වය සහ ගනුදෙනුකරුවන්ට සේවාවන් ලබාදීමට සිදුකරන කැපවීමේදී දේශීය සහ විදේශීය බැංකු සමග තරඟ කරමින් සිදුකරන සේවාව මෙම සම්මානය මගින් ඇගයීමට ලක්කර තිබේ.

එසේම, ක්‍රෙඩිට් රේටින්ග් ඉන්ෆොමේෂන් ඇන්ඞ් සර්විසස් ලිමිටඞ් (CRISL) වෙතින් යළිත් වතාවක් ‘AAA’ ණය වර්ගීකරණයක් 2021 වසර තුළදී ලබාගැනීමට බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව සමත්වී තිබීම කැපී පෙනේ.

බංග්ලාදේශ කොමර්ෂල් බැංකුවේ ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොවිඞ් වසංගතය නිසා සහ අනිකුත් අභියෝග නිසා ආර්ථික කටයුතු අඩාල වුණත් බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව සිය ධෛර්ය සහ ශක්තිය මෙයින් පෙන්නුම් කර තිබෙනවා. බැංකුව විසින් ලබාගත් මෙම සම්මාන මගින් බැංකුවේ ස්ථාවරත්වය, කාර්යසාධනයේ සහ ඉහළ පෙළේ සේවා ලබාදීමේ අඛණ්ඩතාවය විදහා දක්වනවා. තවත් සාර්ථක වසරක් අවසන් කරන විට අපට සහයෝගය ලබාදුන් බංග්ලාදේශය තුළ සිටින පාර්ශවකරුවන්ටත් ගනුදෙනුකරුවන්ටත් අපගේ ස්තූතිය පුද කරනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව