කොමර්ෂල් බැංකුව ජාතික විද්‍යා පදනම එක්ව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපන වැඩසටහන දියත් කරයි

Science education project with NSF (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව සහ ජාතික විද්‍යා පදනම එක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා ශාඛාවේද සහාය ඇතිව පාසල් 50ක් සඳහා විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් දියත් කර ඇත.

මෙම වසර මුලදී බැංකුව සහ ජාතික විද්‍යා පදනම විසින් ප්‍රකාශයට පත්කරන ලද හවුල්කාරීත්ව ගිවිසුමට මග පාදන මෙම ව්‍යාපෘතිය විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය රට පුරා පාසල් වෙත ගෙනයෑම සඳහා බැංකුව විසින් අනුග්‍රහය දක්වන මුලපිරීම් මාලාවකින් එකක් වෙයි.

එහි මූලික පියවරක් ලෙස නියමු මට්ටමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් තෝරාගෙන ඇති අතර, එහි සමාරම්භක වැඩසටහන පසුගියදා නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක විද්‍යාලයේදී පැවැත්වුණු බව බැංකුව පවසයි. නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති අනෙකුත් පාසල් වන්නේ දෙමටගොඩ රාජසිංහ මහා විද්‍යාලය, මාලිගාවත්ත රාජසිංහ මහා විද්‍යාලය, කොළඹ-14 විජයබා මහා විද්‍යාලය සහ මට්ටක්කුලිය ආවේ මරියා විද්‍යාලයයි.

පාසල් පහේ සිසුන් සහ ගුරුවරුන්, රජයේ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශය සහ අදාල ව්‍යාපෘතියට සහාය දක්වන වෙනත් සංවිධාන නියෝජනය කරමින් 300කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය. කොමර්ෂල් බැංකුවේ නාරාහේන්පිට ශාඛාවේ සහයෝගය ඇතිව සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා STEM පන්ති කාමරයක්ද විවෘත කෙරිණි.

සමාරම්භක සැසියෙන් පසුව වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (CGTTI) සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිසුන්ට අත්දැකීම් ලබාදීම සඳහා තාක්‍ෂණික සැසි පවත්වන ලදී. VTA ආයතනය විසින් වයස අවුරුදු 15 සහ ඊට වැඩි සිසුන් 150 දෙනෙකු සඳහා කුසලතා පරීක්‍ෂණයක්ද පවත්වන ලදී.

මීට අමතරව ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ සිසුන් සඳහා හයිඩ්‍රොපොනික් වගා ශිල්පීය ක්‍රම, අත්‍යාවශ්‍ය තෙල් නිස්සාරණය සහ ගෙවතු වගාව ආශ්‍රිතව ඇති විද්‍යාව පිළිබඳ සැසියක්ද පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව