කොමර්ෂල් බැංකුව අපනයන ව්‍යවසායකයින් සඳහා වැඩසටහනක් පවත්වයි

Diribala Exporter Development Programme - Composite1

 



 

 

කොමර්ෂල් බැංකුව විසින් දිවයිනේ ආහාරපාන අංශයේ ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් 110ක් සඳහා, අපනයන වෙළෙඳපොළට පිවිසීමට අදාළව තම ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කිරීම උදෙසා, විශේෂ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී.

කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික, කර්මාන්ත සහ අනෙකුත් අදාල ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති, කොමර්ෂල් බැංකුවේ නම්‍යශීලී ‘දිරිබල සංවර්ධන ණය යෝජනා ක‍්‍රමය’ හා සබැඳි මෙම වැඩසටහන ‘දිරිබල අපනයනකරුවන්ගේ සංවර්ධන වැඩසටහන’ යනුවෙන් නම් කර ඇත. මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අපනයනකරුවන් ලෙස සාර්ථක වීමට හැකියාව ඇති ව්‍යවසායකයින් බැංකුව විසින් හඳුනාගෙන ඇත. මෙම වැඩසටහන කොමර්ෂල් බැංකුවේ පවතින ගණුදෙනුකරුවන්ට පමණක් සීමා නොවූ අතර, සහභාගී වූවන්ගෙන් අඩක් කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද පිරිස විය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප‍්‍රවර්ධනය කිරීම, අපනයනය දිරිගැන්වීම සහ දේශීය අපනයන අංශය සංවර්ධනය කිරීම සඳහා සැලැසුම් කර ඇති මුලපිරීම් මාලාවක ආරම්භය, මෙම වැඩසටහන තුළින් නියෝජනය කරන බැව් බැංකුව ප‍්‍රකාශ කරයි.

ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපනයනය සඳහා සූදානම් කිරීම සහ අපනයන ඉලක්ක කරගත් ව්‍යවසායවල වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වෙයි. එසේම එම මුලපිරීම් මගින් රටට දැඩි අවශ්‍යතාවයක් වන විදේශ විනිමය ඉපැයීම් වැඩිදියුණු කිරීමද අරමුණු කර ඇති බැව් බැංකුව අවධාරණය කරයි.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් වූයේ, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික නීරෝධායන සේවාව සහ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය (SLSI) යන ආයතනයන්ය.

කොමර්ෂල් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම මංගල ‘දිරිබල අපනයනකරුවන්ගේ සංවර්ධන වැඩසටහන’ කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි බැංකු ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණේ, පුද්ගලික බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දිලක්ෂාන් හෙට්ටිආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙනි. මෙරට තුළ ඇති වත්මන් දරුණු ආර්ථික තත්ත්වය තුළ අපනයනකරුවන් වීමට දේශීය නිෂ්පාදකයින් හැඩගැසීමේ වැදගත්කම පිළිබඳව ඒ මහතා තම කතාවේදී අවධාණය යොමු කළේය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව