අවුරුදු අසිරිය සමගින් රතබලාගම කනිටු විදුහල ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වේ

Image (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් පසුගියදා තණමල්විල, හම්බෙගමුව, රතබලාගම කනිෂ්ඨ විද්‍යාලයේදී සංස්කෘතිකාංග රැසක් සමගින් පවත්වන ලද සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුම් උළෙලට එම පාසලේ සිසුන් හා ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද සහභාගී විය.

SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] සංකල්පය යටතේ සිදුකරන ලද මෙම සමාජ සත්කාරය මගින්, මෙම පාසලට බෙහෙවින් අවශ්‍යව තිබූ අන්තර්ජාල පහසුකම් ඇතුළු ඩිජිටල් යටිතල පහසුකම් සහ අධ්‍යාපනික සම්පත් රැසක් ප්‍රදානය කරන ලදී. මෙම ප්‍රදේශය අවට ජීවත් වන, විවිධ දුෂ්කරතාවන්ගෙන් පෙළෙන ප්‍රජාවන්ට අයත් පවුල්වල දරුවන් 300 ක් පමණ මෙම පාසලෙහි ඉගෙනුම ලබති.

 



 

මෙම සිසුන් සමග එක් වී අලුත් අවුරුදු සතුට සමරන අතරම, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් ඔවුන් වෙත ලබාදීම SLT-MOBITEL හි අරමුණ විය. ග්‍රාමීය ප්‍රදේශවල ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් පවතින දුෂ්කරතා මගහරවාලීම මගින්, ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් ආයෝජනය කිරීම ඔස්සේ SLT-MOBITEL බලාපොරොත්තු වන සාධනීය ප්‍රතිඵල ළඟා කරගැනීම වඩාත් පහසු වනු ඇත.

SLT-MOBITEL වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සන්නාම අලෙවිකරණ) අසිත ජයසේකර මහතා සහ මොණරාගල ප්‍රාදේශීය කළමනාකාරිනී තිළිණි ධනපාල මහත්මිය මෙම උත්සවයට සහභාගී වූහ. ඊට අමතරව තවත් SLT-MOBITEL නියෝජිතයන් පිරිසක්, පාසලේ විදුහල්පති, ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම උත්සවයට සමගාමීව, පාසලේ ක්‍රියා විරහිතව පැවති පරිගණක කිහිපයක් යථා තත්ත්වයට පත්කිරීමටද SLT-MOBITEL කාර්මික ශිල්පීහු කටයුතු කළහ. එමෙන්ම මීට පෙර අන්තර්ජාල පහසුකම් නොතිබූ මෙම පාසල තුළ ප්‍රථම වරට ඩිජිටල් ඉගෙනුම් පරිසරයක් ස්ථාපිත කිරීමට හැකි වන ආකාරයට එයට අන්තර්ජාල පහසුකම්ද ලබාදෙන ලදී. මෙම මැදිහත්වීම මගින් සිසුන්ට මාර්ගගත අධ්‍යාපනික සම්පත් භාවිතා කිරීමට අවස්ථාවන් හිමි වන අතර, එමගින් ග්‍රාමීය ප්‍රදේශවලට ඩිජිටල්  සේවා අත්විදීමට ලැබෙන අවස්ථා පුළුල් වනු ඇත.

රතබලාගම පාසලේ අවුරුදු උත්සවයට අවුරුදු ක්‍රීඩා ඇතුළු සාම්ප්‍රදායික විශේෂාංග රාශියක් ඇතුළත් වී තිබිණි. මෙය පාසලේ ගුරුවරුන්, සිසුන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් එක්තැන් කළ සුවිශේෂී අවස්ථාවක් විය. මෙහිදී SLT-MOBITEL එම පාසලේ සියලුම සිසුන්ට, ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට වැදගත් වන පොත්පත් හා පාසල් උපකරණ ආදිය ඇතුළත් පාසල් බෑග් 300 ක් ප්‍රදානය කිරීමටද කටයුතු කළේය. මීට අමතරව SLT-MOBITEL විසින් එම සිසුන්ගේ සාක්ෂරතාව හා දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පාසලේ පුස්තකාලයට පොත් විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාග කරන ලදී.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතරින් බහුතරයකට ඩිජිටල් තාක්ෂණය අත්විඳීම සඳහා අවස්ථාව හිමි වන්නේ අතිශයින් සීමිතවය. මෙම තත්ත්වය වටහා ගනිමින් SLT-MOBITEL විසින් ක්‍රියාවට නංවනු ලබන මෙබඳු වැඩසටහන් තුළින් දරුවන්ට නව අධ්‍යාපනික මාවත් විවර වන අතර, ඔවුන්ට අනාගතයට ගැළපෙන අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. මෙම ප්‍රජා සත්කාරය අලුත් අවුරුදු සැමරුම්වලට සමගාමීව සිදුකිරීම, එම මෙහෙවර වඩාත් අර්ථවත් කිරීමට බලපෑ සාධකයක් විය.

ඩිජිටල් පහසුකම් තුළින් පාසල සවිබල ගැනවීම තුළින් යහපත් සමාජයීය බලපෑමක් ඇතිකරන අතරම ඩිජිටල් අන්තර්කරණය තහවුරු කිරීම මූලික කරගත් SLT-MOBITEL හි ආයතනික දැක්මට සමගාමීව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු අතර අංක 4 (ගුණාත්මක අධ්‍යාපනයක්), අංක 10 (අසමානතා අවම කිරීම) සහ අංක 17 (තිරසර සංවර්ධනය සඳහා හවුල්කාරීත්වයන්) යන අරමුණු ළගාකර ගැනීමද ඔවුන්ගේ අපේක්ෂාවයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව