අමානා බැංකුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර eKYC ක්‍රියාවලිය සදහා අවබෝධතා ගිවිසුමක්

Amana Bank CEO Mohamed Azmeer and Commissioner General of DRP P. Viyani Gunathilake signing the Memorandum

 




 

 

අමානා බැංකුව පසුගියදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. eKYC (Know Your Customer) පහසුකම වෙනුවෙන් මෙම ගිවිසුම අත්සන් කරන ලද අතර, එමගින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතු දත්ත පරීක්ෂා කර, තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට අමානා බැංකුවට අවස්ථාව හිමිවේ. ඒ අනුව මෙම ගිවිසුමත් සමග, නව ගිණුමක් විවෘත කිරීමේදී ගනුදෙනුකරුගේ කැමැත්ත ඇතිව, මාර්ගගත ක්‍රමයට ගනුදෙනුකරුගේ අනන්‍යතා තොරතුරු පරීක්ෂා කර තහවුරු කරගැනීමට අමානා බැංකුවට හැකියාව ලැබෙනු ඇත. මේ නිසා මින් ඉදිරියට ගිණුමක් විවෘත කිරීම සඳහා ගනුදෙනුකරුවෙකු අමානා බැංකුවේ ශාඛාවක් වෙත පැමිණීම අත්‍යවශ්‍ය නොවේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී දෙපාර්ශ්වය විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පී. වියානි ගුණතිලක මහතා, අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා, එම බැංකුවේ උප සභාපති (මෙහෙයුම්) ඉම්තියාස් ඉක්බාල් මහතා, ප්‍රධාන තොරතුරු නිලධාරී රජිත දිසානායක මහතා, නීති ප්‍රධානී සුලානි දයාරත්න මහත්මිය සහ ඩිජිටල් බැංකුකරණ ප්‍රධානී සංජීව ෆොන්සේකා මහතා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “ඩිජිටල් බැංකුකරණ සේවාවන් අතිශයින් ජනප්‍රිය වෙමින් පවතින අද වැනි කාලයක මුදල් විශුද්ධිකරණය සහ අනන්‍යතා සොරකම් වැනි තර්ජනද ඉහළ යමින් පවතිනවා. පාරිභෝගිකයන් පිළිබඳ නිවැරදි තොරතුරු දැනගැනීම සඳහා භාවිතා කරන KYC ක්‍රියාවලිය වැදගත් වන්නේ ඒ නිසයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග මෙම ගිවිසුම අත්සන් කිරීම මගින් අපට ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ගනුදෙනුකරුවන් පිළිබඳ තොරතුරු තහවුරු කරගැනීමට හැකියාව ලැබෙනවා. එවැනි සේවාවක් භාවිතා කිරීමට අපට හැකියාව තිබීම යනු, ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමීම සඳහා බෙහෙවින් උපකාරී වන සාධකයක් බව කියන්නට පුළුවන්.”

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පී. වියානි ගුණතිලක මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “අමානා බැංකුවේ eKYC ක්‍රියාවලිය සඳහා අපගේ දත්ත ගබඩාව භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙමින්, ඔවුන්ට වඩාත් පහසුවෙන් තම ගනුදෙනුකරුවන්ගේ තොරතුරු තහවුරු කරගැනීමට අවස්ථාව ලබාදීමට හැකිවීම අපට සතුටක්. මෙමගින් අමානා බැංකුවේ ගනුදෙනුකරුවන්ට තම නිවසේ හෝ කාර්යාලයේ සිටම ගිණුම් විවෘත කිරීමට හැකිවන නිසා මෙය ඔවුන්ට විශාල පහසුවක් වේවි කියා අප සිතනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව