අමානා බැංකුවේ 2024 වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටයන් රැසක් ඇගයුමට ලක් වේ.

Amana Awards night

අමානා බැංකුවේ වාර්ෂික සම්මාන උළෙල මෙවර ‘Rewarding Excellence’ යන තේමාව යටතේ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අමානා බැංකුවේ සාර්ථකත්වය උදෙසා එහි කාර්ය මණ්ඩලය වෙතින් ලැබුණු දායකත්වය ඇගයීමට ලක්කිරීම එහි මූලික අරමුණ විය. කොළඹ Shangri-La හෝටල් පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවක සේවිකාවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 



 
අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල ආරම්භ වූ අතර, IsDB සමූහය නියෝජනය කරන විදේශීය අධ්‍යක්ෂවරුන් වන මොහොමඩ් අතාවුර් රහමාන් චෞද්රි සහ මොහොමඩ් හසන් යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ. ඊට අමතරව අමානා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන ටිශාන් සුබසිංහ, ඩිල්ශාන් හෙට්ටිආරච්චි, මොහොමඩ් ඇඩම් අලී, කයිරුල් මුසමිල් පෙරේරා, ඩෙල්වින් පෙරෙයිරා සහ අස්රීන් සහීර් යන මහත්වරුන්ද මීට සහභාගී වූ අතර, බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකාරීත්වය දරන  ආචාර්ය ටී. සෙන්දිල්වේල් සහ නන්දනන් සෙන්දිල්වේල් යන මහත්වරුද මීට එක් වූහ.

මෙහිදී අමානා බැංකුව තුළ වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක සේවිකාවන් පිරිස මුලින්ම ඇගයිමට ලක් වූ අතර, මෙම කාලය පුරාවටම ඉමහත් උනන්දුවකින් හා කැපවීමකින් යුතුව ඔවුන් විසින් ඉටුකරන ලද වෘත්තීය මෙහෙවර වෙනුවෙන් ඔවුන්ට සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.

තවද සම්මාන උළෙලේදී කාණ්ඩ 30 ක් යටතේ සේවක සේවිකාවන් 70 දෙනෙක් ඇගයීමට ලක්වූහ. සම්මාන උළෙලේ ප්‍රධානතම සම්මාන කාණ්ඩය ‘ප්‍රධාන විධායක නිලධාරී තුමන්ගේ සම්මාන’ වූ අතර, තම රාජකාරිමය සීමාවන්ගෙන් ඔබ්බට යමින් ඉමහත් කැපවීමකින් යුතුව සිය කාර්යය ඉටුකරමින් බැංකුවට වටිනාකමක් එක්කළ සුවිශේෂී පිරිසක් වෙත මෙම සම්මාන පිරිනැමිණි. දසුන් සමරසිංහ (කළමනාකරු – තොරතුරු තාක්ෂණ පහසුකම් පද්ධති), මස්නවි රූමි (කළමනාකරු – ක්‍රමෝපාය සහ තිරසාරත්වය), ශකීර් නවාස් (කළමනාකරු – මූල්‍ය) සහ හිලූෆා අගීස් (කළමනාකාරිනී – ආයතනික සංවර්ධන සහ වෘත්තීය අභිවෘද්ධි) යන අය මෙලෙස ප්‍රධාන විධායක නිලධාරීතුමන්ගේ සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ.

ශාඛා කාණ්ඩය යටතේ සමස්ත විශිෂ්ටතම ශාඛාවට හිමි රන් සම්මානය හිමිකර ගැනීමට අමානා බැංකුවේ පිටකොටුව ශාඛාව සමත් වූ අතර එම සම්මානය අදාළ ශාඛාවේ කළමනාකරු වන නිශාත් නවාස් මහතා විසින් පිළිගන්නා ලදි. එම කාණ්ඩයේ රිදී සම්මානය මාතලේ ශාඛාව වෙත හිමි වූ අතර, එය පිළිගන්නා ලද්දේ එම ශාඛාවේ කළමනාකරු ඉෆ්හාම් ඉන්තිසාර් මහතා විසිනි.

උත්සවයේ සමාරම්භක කථාව සිදු කළ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා, කාර්ය මණ්ඩලයේ දක්ෂතා ඇගයීමට ලක්කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙසේ අදහස් පළකළේ ය. “අපගේ වටිනාම සම්පත අපගේ කාර්ය මණ්ඩලයයි. අමානා බැංකුවේ ඉදිරි ගමනට දිරිය ලැබෙන්නේ ඔවුන්ගේ අසීමිත කැපවීම තුළින්. මේ සම්මාන උළෙල පවත්වනු ලබන්නේ ඔවුන්ගේ ඒ අතිවිශිෂ්ට කැපවීම සහ සේවාව ඇගයීමේ අරමුණිනුයි. අභියෝගකාරී වාතාවරණයන් තුළ එකට එක් වී ඉදිරියට යාමට අපට ඇති සාමූහික හැකියාව මෙම දක්ෂතා මගින් මැනැවින් නිරූපණය වෙනවා. අද දවසේ අප මේ සමරන්නේ පෞද්ගලික ජයග්‍රහණ පමණක් නොව, අප භාවිතා කරන බැංකුකරණ ආකෘතියේම සාර්ථකත්වයයි. මෙම සම්මාන සඳහා නාමයෝජනා ලැබූ සහ ජයග්‍රහණ හිමිකරගත් සියලුම දෙනාට අපගෙන් උණුසුම් සුබපැතුම්! ඔබගේ විශිෂ්ටත්වය ආදර්ශමත් එකක්. ඒ විශිෂ්ටත්වය අප සියලුම දෙනාට සාර්ථකත්වයේ නව පරිච්ඡේද සනිටුහන් කිරීමට දිරිය දෙනවා. එමෙන්ම වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කළ සාමාජික සාමාජිකාවන් 180 දෙනාට සුබපැතුම් පිරිනැමීමටත්, ඔවුන්ට ස්තූතිය පළකිරීමටත් මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි. ඔබගේ කැපවීම සැබැවින්ම ප්‍රශංසනීයයි.”

අමානා බැංකුවේ ප්‍රධානතම කොටස් හිමිකරු වන IsDB සමූහ ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දැක්වූ එහි අධ්‍යක්ෂ මොහොමඩ් අතාවුර් රහමාන් චෞද්රි මහතා, අමානා බැංකුව එහි වර්තමාන සාර්ථකත්වය වෙත ඔසවා තැබීම සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් කාර්ය මණ්ඩලය වෙත සිය ස්තූතිය පළකළේ ය. එමෙන්ම අමානා බැංකුව IsDB සමූහය ආයෝජනය කළ බැංකු අතරින් සාර්ථකකම බැංකුවක් බව පැවසූ ඒ මහතා, එය ලොව පුරා පොලිය පදනම් කර නොගත් බැංකුකරණය ප්‍රචලිත කිරීමේ උත්සාහයේ සාර්ථක පියවරක් ලෙසද හැඳින්වී ය. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ආයෝජකයෙකු වශයෙන් අමානා බැංකුවේ සාර්ථකත්වය පිළිබඳව තමන් ආඩම්බර වන බවයි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසී ය. “අමානා බැංකුවේ ශක්තිය වන්නේ අපගේ කණ්ඩායමේ ශක්තියයි. බැංකුවේ සාර්ථකත්වයට මේ කණ්ඩායමේ සෑම කෙනෙකුම සුවිශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. මේ කණ්ඩායම නිසා, ඉදිරියේදී වර්ධනය වේගවත් කිරීම සහ ආවරණ පරාසය පුළුල් කිරීම සඳහා අවශ්‍ය පන්නරය අමානා බැංකුවට ලැබී තිබෙනවා. මේ සෑම සම්මානයක්ම කිසියම් විශේෂ ජයග්‍රහණයක් වෙනුවෙන් පිරිනමන ලද්දක් වුවත්, අපගේ සාර්ථකත්වය වෙනුවෙන් මේ සෑම කෙනෙකුම වසරක් පාසා මීට වඩා සුවිශාල දායකත්වයක් ලබාදෙන බවට කිසිදු සැකයක් නැහැ. මේ සාර්ථකත්වයේ ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට රැගෙන යමින් දිනෙන් දින දියුණුව කරා පියනැගීමට අදිටන් කරගනිමු.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව