සෙලින්කෝ ලයිෆ් 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘වඩාත් ප‍්‍රසාදයට ලක් වූ’ සමාගම් ලයිස්තුවෙහි එකම රක්ෂණ සමාගම බවට පත්වෙයි

ceylinco-life

සෙලින්කෝ ලයිෆ් සමාගමට තවත් ගෞරවයක් පුදකරමින් ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2019-20 තුළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදී ඇත.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මෙම ගෞරවණීය ලයිස්තුවට එක්වූ දෙවන අවස්ථාව මෙය වේ. එසේම, මෙම ලයිස්තුවේ පළමු සමාගම් 10 සහ ඊට අමතරව නම් වූ සමාගම් පහ අතර සිටින එකම රක්ෂණ සමාගම වන්නේද සෙලින්කෝ ලයිෆ් සමාගමයි.

මෙම සමාගම් අතර ලයිස්තුගත සහ ලයිස්තුගත නොවූ සමාගම් ඇතුළත්වී තිබේ. මේ සඳහා තෝරා ගැනීමේදී මූල්‍ය කාර්ය සාධනයට අමතරව කොටස්කරුවන්ට, පාරිභෝගිකයින්ට, සේවකයින්ට සහ පුළුල් වශයෙන් සමාජයට සිදුකළ අගය එකතු කිරීම සැලකිල්ලට ගෙන තිබේ. මෙම සම්මානය මගින් ඇගයීමට ලක්කර තිබෙන්නේ මෙම සමාගම්වල තිබෙන ස්ථාවරත්වය, ශක්තිය, තිරසාර වර්ධනය සහ විශිෂ්ට ව්‍යාපාරික කාර්ය සාධනයයි.

සෙලින්කෝ ලයිෆ් සමාගම 2019 වසර අවසන් වනවිට රුපියල් බිලියන 32.1 ක ශක්තිමත් ඒකාබද්ධ ආදායමක් වාර්තා කළ අතර රුපියල් බිලියන 18.7 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් ලබාගැනීමට සමත්විය. මෙම තත්ත්වය හේතුවෙන් සමාගම පිට පිටම 16 වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වූ අතර රුපියල් බිලියන 6.7 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත්විය. 2019 වසර අවසන් වනවිට සමාගමේ ආයෝජන කළඹ රුපියල් බිලියන 116.9 ක්වූ අතර වටිනාකමට අනුව සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 133.2 ක් විය.

 




 

ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය එක්ව මෙරට වඩාත් ප‍්‍රසාදයට ලක් වූ සමාගම් ලයිස්තුව සකස් කිරීමේදී ජාත්‍යන්තර පිළිගත් ක‍්‍රමවේදයකට අනුව ඉතාමත් දැඩි ඇගයීමක් සිදුකරන අතර මෙම තෝරාගැනීම සිදුකරන්නේ කීර්තිමත් විනිසුරු මඩුල්ලක් විසිනි. මෙහිදී, අනුගමනය කරන ප‍්‍රමාණාත්මක ක‍්‍රමවේදයට මූල්‍ය ස්ථායීතාවය, දිගුකාලීන ආයෝජන වටිනාකම් නිර්මාණය කිරීම, ඉපැයුම් වර්ධනය සහ ලාභාංශ ගෙවීම ඇතුළත් වන අතර ගුණාත්මක ක‍්‍රමවේදයට කළමනාකරණ ගුණාත්මකභාවය, නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මක තත්ත්වය, තරඟකාරීත්වය, ආකර්ශනය කර ගැනීමට තිබෙන හැකියාව, සංවර්ධනය, දක්ෂතාවය සහ නවෝත්පාදනය තබාගැනීම, අවංකභාවය සහ ව්‍යාපාරික සදාචාරයද ඇතුළත්ව පාරිසරික, සමාජ සහ ආයතනික වගකීම සැලකිල්ලට ගෙන තිබේ.

අතිවිශිෂ්ට කාර්ය සාධනයක් සහ අනිකුත් ඉලක්ක ජයගත් සමාගම් සඳහා මෙම සම්මානය ලබාදෙන බව මෙම සම්මාන ප‍්‍රදානය කරන්නන් සඳහන් කරයි. මෙම සම්මාන සඳහා සුදුසුකම් ලබන්නේ 2020 ජුනි 30 වනදා වනවිට වසර පහකට වැඩි කාලයක් ව්‍යාපාර කර තිබෙන 30% ක් හෝ එයට වඩා දේශීය හිමිකාරීත්වයක් ඇති සමාගම් පමණි.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. මේ වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2019 වසරේදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) විසින් මෙරට ප‍්‍රසාදයට ලක් වූ සමාගම් 10 ලැයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව