සියැට් වෙතින් රබර් වැවිලිකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලක්

Schools CSR programme (LBN)

 



 

 

සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම විසින්, තම සැපයුම් දාමයේ තීරණාත්මක අංගයක් වන රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීමේ නව ප්‍රජා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවලින් අඩක නිෂ්පාදකයා වන ‘සියැට්-කැලණි’ සමාගම තම රබර් අවශ්‍යතාවයෙන් 100%ක්ම ලබා ගැනීම සිදුකරණු ලබන්නේ, පවුල් 10,000ක් යැපෙන දේශීය රබර් නිෂ්පාදකයින්ගෙනි. මෙම රබර් වගාකරුවන්ගේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් අධ්‍යාපනික අවශ්‍යතා පරිත්‍යාග කිරීම මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරෙයි.

මතුගම අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කර ගනිමින් මෙම ‘සියැට් කෙයාර්ස්’ (CEAT Cares) ව්‍යාපෘතියේ පළමු අදියර හොඳ පුරවැසි මුලපිරීම්වල කොටසක් ලෙසට ආරම්භ කෙරෙන අතර, එහිදී සියැට් ටයර් භාවිත කරන ප්‍රධාන පරිශීලකයෙකු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගය ඇතිව එය ක්‍රියාත්මක කෙරෙයි.

මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලැබූ පළමු පාසල් දෙක වූයේ, පල්ලේගොඩ දෙමළ පාසල සහ ඉත්තපාන මිරිස්වත්ත දෙමළ පාසල වන අතර, එම පාසල් වෙත පසුගියදා සියැට් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජිතයින් පැමිණ සිටියහ. මෙම උත්සවයේදී පාසල් ළමුන් 119ක් උදෙසා පාසල් බෑග්, පාවහන් සහ ලිපි ද්‍රව්‍ය මෙන්ම පෝෂ්‍යදායී දිවා ආහාරයක් බෙදා දීමද සිදුකෙරිණ.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි කළමනාකාර අධ්‍යක්‍ෂ රවී ඩඩ්ලානි මහතා මෙසේ පැවසුවේය. ‘රබර් වගා කරන්නන් අපගේ ටයර් නිෂ්පාදන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන බැවින්, ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී ඔවුන් මුහුණ දෙන අභියෝග කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය. දරුවන්ගේ අධ්‍යාපනික වියදම් දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, එම සමහර වියදම් පියවා ගැනීමට අපගේ වැඩපිළිවෙල උපකාරී වනු ඇතැයි විශ්වාස කරමු. මෙය අපගේ ආයතනික සමාජ වගකීම් අරමුණු සමග හොඳින් ගැලපෙනු ඇතිය.’

මෙම පාසල් දෙකෙහිම වැඩසටහන් දියත් කිරීමේ උත්සව සඳහා රවී ඩඩ්ලානි මහතා සහභාගී වූ අතර, සියැට්-කැලණි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශමල් ගුණවර්ධන මහතා සහ සියැට් කැලණි හෝල්ඩිංග්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයද සහභාගී වූහ. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් ආර්. ඒ. ජේ. එන්. රණසිංහ සහ බි්‍රගේඩියර් එම්. ඩබ්ලිව්. එස්. මිල්ලගල යන මහත්වරුන්ද, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූහ. එසේම මෙම උත්සව සඳහා මතුගම කලාප අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සහ ප්‍රදේශයේ සියැට්-කැලණි අලෙවි නියෝජිතයින්ද සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රොස්-ප්ලයි සහ රේඩියල් ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා ටයර් ආවරණය කරයි. සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු නිෂ්පාදන තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. සියැට් කැළණි හෝල්ඩිංග්ස් සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද සියැට් කැළණි සමාගම ඉටු කරනු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව