සිංගර් ෆැෂන් ඇකඩමිය වාර්ෂික සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

02 (1)

විලාසිතා නිර්මාණකරණයේ ජයග්‍රහණ ඇගයෙන සිංගර් ෆැෂන් ඇකඩමියේ වාර්ෂික සම්මාන උළෙල මෑතකදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) අති සාර්ථක ලෙස පැවැත්විණි. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, විලාසිතා නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, එම්බ්‍රොයිඩර් පිළිබඳ ඩිප්ලෝමාව සහ විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලද සිසුන්ව ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සිංගර් ශ්‍රී ලංකා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂවරුන් සහ ඇකඩමියේ ගෞරවනීය ආචාර්ය මණ්ඩලය ද එක්වූහ.
 



 

අධ්‍යාපනය සහ කලාව තුළින් පුද්ගල ජීවිතයකට සිදුකළ හැකි පරිවර්තනීය වෙනස අවබෝධ කරගත් සිංගර් ආයතනය, විලාසිතා ඇකඩමිය ස්ථාපනය කිරීමට එම ලබාගත් අවබෝධය පාදක කරගන්නා ලදී.  ඇකඩමිය ස්ථාපිත කර ඇත්තේ හුදෙක් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පමණක් නොව, විලාසිතා  නිර්මාණකරණය සඳහා සිසුන් තුළ වූ ආශාවන් අර්ථවත් වෘත්තීන් බවට පත් කිරීමට පිටිවහලක් සපයන ආයතනයක් ලෙසිනි. උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සහ ප්‍රායෝගික කුසලතා ලබා දීම මගින් නව පරපුරේ නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයින් පෝෂණය කිරීම සිංගර් ආයතනය මෙමගින් සිදු කරයි.

මෙම වසරේදී සිසුන් 405 දෙනෙකු සහතිකපත් ද 105 දෙනෙකු ඩිප්ලෝමා ද ලබා ගනිමින්, සිය වෘත්තීය ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වූහ. තවද BSc in Fashion Designing උපාධිය සම්පූර්ණ කිරීම වෙනුවෙන් සිසුන් දෙදෙනෙකු මෙම අවස්ථාවේදී ඇගයීමට පාත්‍ර වූ අතර එය ඔවුන් තුළ වූ අසීමිත කැපවීම සහ ඇකඩමිය ලබාදෙන විශිෂ්ට පුහුණුව පිළිබඳ කදිම සාක්ෂියක් විය. උත්සවය අතරතුර පැවති විලාසිතා සංදර්ශන මගින් සිසුන් සැබෑ ලෝකයෙන් ලබාගත් අත්දැකීම් සහ ප්‍රායෝගික ඉගෙනීම් තුළින් වැඩිදියුණු කරගත් නිර්මාණශීලිත්වය මනා ලෙස ප්‍රදර්ශනය කරන ලදී.

“සිංගර් විලාසිතා ඇකඩමිය, විලාසිතා නිර්මාණ කුසලතා ඉගැන්වීමට පමණක් සීමාවුණු තැනක් නොවෙයි. අපි නවෝත්පාදන තුළින් ව්‍යවසායකයින්, රැකියා අවස්ථා, ස්වයං රැකියා සහ නව විලාසිතා සන්නාම බිහි කරනවා පමණක් නොව සැලකිය යුතු සමාජ දායකත්වයක්ද ලබා දෙනවා.” මහේෂ් විජේවර්ධන මහතා පෙන්වා දෙන ලදී.

සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂක ජන්මේෂ් ඇන්තනී වැඩිදුරටත් පැවසුවේ, “අපගේ සිසුන් අප සමඟ එක්වූ අවස්ථාවේ සිට වෘත්තිකයන් වීම දක්වා ගමන්මඟ සියැසින් දැක බලා ගැනීමට ලැබීම අතිශයින් සතුටට කරුණක්. සිංගර් ෆැෂන් ඇකඩමිය යනු හුදෙක් ආයතනයක් පමණක් නොව දක්ෂතා පෝෂණය කරන සහ සිහින යථාර්තයක් කරන පවුලක්.”

සිංගර් ආයතනය, අධ්‍යාපනය ලබාදීමට අමතරව ජීවිත වලට පරිවර්තනීය වෙනසක් එක්කරමින් රටේ සංවර්ධනය සඳහා දායක වන ආයතනයකි. 1960 වසරේ දී ආරම්භ කළ සිංගර් මැහුම් මධ්‍යස්ථානය 2001 වසරේදී සිංගර් ෆැෂන් ඇකඩමිය ලෙස නැවත සන්නාමගත කරන ලදී. දීපව්‍යාප්ත ආයතන 52 කින් වසරකට 6,000කට අධික ශිෂ්‍ය සංඛ්‍යාවකට පාඨමාලා 28ක් පිරිනමමින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට සිංගර් විලාසිතා ඇකඩමිය කටයුතු කරයි.

සිංගර් ආයතනය, මැහුම් සහ විලාසිතා ක්ෂේත්‍රයේ විශාල ව්‍යවසායකයින් පිරිසක් පෝෂණය කරන පුළුල් ආර්ථික බලපෑමක් සිදුකරන ආයතනයකි. ඉන්දියාවේ Lovely Professional විශ්ව විද්‍යාලය වැනි ගෝලීය ආයතන සමඟ එක්වීමෙන් සිය සිසුන් හට අභිමානයෙන් ගෝලීය වේදිකාවල තරඟ කිරීමට සිංගර් අවස්ථාව සලසා දෙයි.

පුරා වසර 60ක් ප්‍රජාව නඟා සිටුවමින් නවෝත්පාදන ඔස්සේ විලාසිතාවන්ට නව අරුතක් එක්කළ සිංගර් ආයතනය සෑමවිටම වෙනසක් සමාජගත කල ආයතනයකි. මෙම කැපවීම ශ්‍රී ලංකාවේ විලාසිතා අනාගතය ගෞරවාන්විතව ඉදිරියට ගෙනයනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව