සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රයෙන් ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, අභියෝග හා විසඳුම් පිළිබඳව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක්

Image II

 




 

 

සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය (Centre for Equality & Justice – CEJ) මගින් ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, අභියෝග හා විසඳුම් පිළිබඳව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. පුත්තලම, කිලිනොච්චිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි  වෙසෙන සිංහල, දෙමළ හා මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතිය මගින්, අපරාධ යුක්තිය සම්බන්ධ නීතිමය ක්‍රියාවලිය තුළදී කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන බාධාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙන්ම, ඔවුන් මුහුණ දෙන අභියෝග වලට විසඳුම් යෝජනා කිරීමද සිදුකෙරේ. CEJ ආයතනය කොළඹ පිහිටි කාන්තා සංවිධානයක් වන අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ සාධාරණත්වය සාක්ෂාත් කරගැනීම උදෙසා කාන්තාවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කරයි.

අදාළ දිස්ත්‍රික්ක තුළ කාන්තා සමූහයන් සමග මූලික මට්ටමේ සාකච්ඡාවන් පැවැත්වීමෙන් අනතුරුව, එම කාන්තාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මෙන්ම, ස්ත්‍රී දූෂණය සහ වෙනත් ලිංගික හිංසාවන් ඇතුළුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් විවිධාකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දෙන බව CEJ ආයතනය මගින් හඳුනා ගන්නා ලදි. විශේෂයෙන්ම කොරෝනා (COVID-19) රෝග ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමාවන් පනවා තිබෙන කාලසීමාවන්හි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එහෙත්, විශේෂයෙන්ම නීතීඥයන්, අධිකරණ කාර්ය මණ්ඩලය සහ විනිශ්චයකාරවරුන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් අසංවේදී වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් සංවේදී ලෙස කටයුතු කරන පොලිස් නිලධාරිනියන් හා නිලධාරීන් දුර්ලභ වීම, නීතිමය අංශයෙන් ඇතිවන ප්‍රමාදයන්, යුක්තිය කරා යාමේදී මතුවන භාෂාමය බාධාවන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පනතට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු ආදිය නිසා, යුක්තිය  ඉටුකර ගැනීමේ ක්‍රියාවලියේදී බොහෝ බාධාවන්ට මුහුණ දීමට කාන්තාවන්ට සිදු වේ. එමෙන්ම හිංසනයට ගොදුරු වූ කාන්තාවන් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය වෙත පිවිසීමේදී ඔවුන්ට බලපාන ඇතැම් නීතිරීති ද විශාල අභියෝගයක් වී ඇත. තවද, හිංසනයට ලක්වූ කාන්තාවන්ට හිතකර වාතාවරණයක් සෞඛ්‍ය පද්ධතිය තුළ නොතිබීම සහ එම කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් රඳවා තැබීමට ස්ථානයක් නොතිබීම වැනි ගැටලු වලට ද මෙහිදී මුහුණ දීමට සිදු වේ. මේ සියල්ල, හිංසනයට ගොදුරු වූ කාන්තාවන්ට ඒ සඳහා සාධාරණත්වය ඉටුකරගැනීමේදී මතුවන බාධාවන් ලෙස පවතී.

අපරාධ නීති පද්ධතියේ හරයාත්මක හා විධිවිධානමය නීතිරීති වල හිස්තැන් පිරවීම සඳහා ඉක්මනින් නෛතික හා ප්‍රතිපත්තිමය සංශෝධනයන් සිදුකළ යුතුව ඇත. මෙහිදී අපරාධ සම්බන්ධ අධිකරණ ක්‍රියාවලියේ විවිධාකාර වූ පාර්ශ්වයන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් සංවේදී වීම පිළිබඳ පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම හිංසනයට ලක් වූ කාන්තාවන්ට වෘත්තීය මට්ටමේ උපදේශන සේවාවන්ට සහ සමාජ-මනෝ විද්‍යාත්මක සේවාවන්ට ප්‍රවේශය ලබාදීමද සිදුකළ යුතුය. මෙහිදී උපදේශකවරුන් හා මනෝ චිකිත්සකවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මගින් කාන්තාවන්ට වඩාත් පහසුවෙන් එම සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලබාදිය හැකි අතර, කාන්තාවන් සුරක්ෂිතව රැඳවිය හැකි ස්ථානයන් ද බහුලව ස්ථාපිත කළ යුතු ය. ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 119 සහ 1938 අංක ඔස්සේ ප්‍රතිචාර ලබාදෙන ක්‍රමවේදයන් වැඩිදියුණු කළ යුතු අතර, සිංහල හා දෙමළ භාෂා ප්‍රවීණත්වයෙන් හෙබි  පුහුණුව ලැබූ නිලධාරීන් හා නිලධාරිනියන් වැඩි පිරිසක් පොලිස් ස්ථාන වල සේවයෙහි යෙදවීමත්  අධිකරණ සඳහා නිසි සුදුසුකම් සපිරූ පරිවර්තකවරුන් පත්කිරීමත් අවශ්‍ය වනු ඇත.

රූකඩ සංදර්ශන සහ වෙනත් කලාත්මක මාධ්‍යයන් ඔස්සේ ප්‍රජා මට්ටමින් මෙම ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට CEJ ආයතනය අපේක්ෂා කරයි. එමෙන්ම අනාගතයේදී සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන් සහ නීති සම්පාදකයන්ගේ අවධානය යොමුකරවීම සඳහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද එම ආයතනය  සැලසුම් කර ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව