සන්දීප් ගෝපාල් මහතා ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස වැඩ භාරගනී

Fairfirst - Sandeep Gopal - CEO, Fairfirst Insurance

 




 

සන්දීප් ගෝපාල් මහතා 2021 මැයි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වැඩ භාරගත්තේය. ෆෙයාෆස්ට් යනු සවිමත් ශ්‍රී ලාංකික පදනමක් මත ආරම්භ වූ, ජාත්‍යන්තර තලයේ සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමකි. මීට ඉහත එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජීව් ජා මහතා ෆෙයාෆැක්ස් සමූහයේ උපදේශකවරයෙකු ලෙස ජාත්‍යන්තර තනතුරකට පත්කර තිබේ.

මීට වසරකට පෙර ප්‍රධාන ක්‍රමෝපාය නිලධාරී ලෙස ෆෙයාෆස්ට් සමාගම හා එක්වූ සන්දීප් ගෝපාල් මහතා එතැන් පටන් සමාගමේ දීර්ඝකාලීන ක්‍රමෝපාය සකස් කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. විශේෂයෙන් නව සේවාවන් හඳුන්වා දීම, පාරිභෝගික සේවාවන් සහ සේවක දායකත්වය යනාදී අංශ සම්බන්ධයෙන් ඒ මහතාගේ දායකත්වය හිමි විය.  මීට පෙර එක්සත් රාජධානිය, හොංකොං සහ සිංගප්පූරුව වැනි රටවල Barclays, RSA, Allied World සහ Swiss Re වැනි ජාත්‍යන්තර සමාගම් වල සේවය කිරීමෙන් ලද අත්දැකීම් සම්භාරයක් ගෝපාල් මහතා සතුය. එමෙන්ම ක්‍රමෝපාය, පොදු කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අවදානම් කළමනාකරණය සහ තාක්ෂණය යනාදී අංශ සම්බන්ධයෙන් තමන් සතු අත්දැකීම් සමගින් ලොව සමාගම් කිහිපයක ආයතනික පරිවර්තනයන් සඳහා නායකත්වය දීමටද ඒ මහතාට හැකියාව ලැබී තිබේ.

ෆෙයාෆස්ට් සමාගම සතු හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරමින් සහ නව හැකියාවන් වර්ධනය කරමින්, ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළඳපොළ තුළ එම සමාගම සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි, ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සන්දීප් ගෝපාල් මහතාගේ මූලික අවධානය යොමුවනු ඇත. ෆෙයාෆස්ට් යනු සානුකම්පිතබව, විනිවිදභාවය, අව්‍යාජත්වය සහ සමාජය කෙරෙහි වගකීම් සහගත වීම යන වටිනාකම් මත නිර්මාණය වූ සන්නාමයක් වන අතර, එහි සානුකම්පිතබව මූලික කරගත් ප්‍රවේශය සඳහා පන්නරය ලබනුයේ එම මූලික වටිනාකම් තුළිනි. මේ වනවිට දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇති එම සමාගමේ මූලික දැක්ම වන්නේ ලොව විශාලතම රක්ෂණ සමාගම බවට පත්වීම වෙනුවට ලොව විශිෂ්ටතම රක්ෂණ සමාගම බවට පත්වීමය. එමෙන්ම සැමට සමාන ලෙස සැලකීම සහතික කරන විචිත්‍රවත් ආයතනික සංස්කෘතියක් සමාගම තුළ පවතී. තවද ව්‍යාපාරකරණය යනු ලොවට යහපත උදාකළ හැකි බලවේගයක්ය යන්න ෆෙයාෆස්ට් හි විශ්වාසය වේ. ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම සිය ප්‍රජා සත්කාරයන් ඔස්සේ දැනටමත් ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත නගාසිටුවීමට සමත් වී ඇත. මේ ආකාරයට ජනතාවගේ හදවත් වලට සමීප සන්නාමයක් බවට පත්වී ඇති ෆෙයාෆස්ට් සන්නාමය පෙරටත් වඩා ශක්තිමත් ලෙස අනාගතය වෙත රැගෙන යාමට පෙරමුණ ගැනීම, නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සන්දීප් ගෝපාල් මහතාගේ මූලික අරමුණ වී තිබේ.

නව තනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්දීප් ගෝපාල් මහතා මෙසේ පැවසීය. “ෆෙයාෆස්ට් සමාගම සතු මේ විශිෂ්ට කණ්ඩායමට නායකත්වය දීමට හැකිවීම මට මහත් සතුටක්. ශ්‍රී ලංකාව තුළ අපගේ ව්‍යාපාර කටයුතු තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා විශාල ඉඩකඩක් පවතිනවා. පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් පුරෝගාමී භූමිකාවක් ඉටුකිරීමේ හැකියාව ෆෙයාෆස්ට් සමාගම සතු බව මගේ විශ්වාසයයි. සානුකම්පිතබව, අව්‍යාජත්වය, විනිවිදභාවය සහ සමාජය කෙරෙහි වගකීම් සහගත බව යන ගුණාංග සපිරි මේ ජාත්‍යන්තර තලයේ කණ්ඩායම සමග ඉදිරියට යාමට මා බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.”

මෙරට ප‍්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගමක් වන ෆෙයාෆස්ට් සමාගම වර්තමානය වන විට දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර, පරිපූර්ණ ශාඛා ජාලයක්, සේවා සහකරුවන් සහ වෙළඳපොළේ ප‍්‍රමුඛතම රක්ෂණ තැරැව්කරුවන් සමග එක්වී මෙරට ජනතාවට රක්ෂණ සේවාවන් සමුදායක් තිළිණ කරමින් සිටී. ෆෙයාෆස්ට් සමාගම යනු කැනඩාව පදනම් කරගත් ෆෙයාෆැක්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමකි. ලොව රක්ෂණ ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ෆෙයාෆැක්ස් සමූහය මේ වනවිට අතිසාර්ථක ලෙස රක්ෂණ හා ප‍්‍රාරක්ෂණ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරමින් ගෝලීය මට්ටමේ ප‍්‍රාරක්ෂණ සම්බන්ධතා පවත්වාගෙන යන ප‍්‍රමුඛ පෙළේ සමාගමක් බවට පත්වී ඇත. විශේෂයෙන්ම අග්නිදිග ආසියාව, නැගෙනහිර යුරෝපය, මැදපෙරදිග සහ බ‍්‍රසීලය වැනි රටවල් හා කලාපවල එය දිනෙන් දින පුළුල් වෙමින් පවතී.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව