‘ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශය’ – ශ්‍රී ලංකාවේ ගෙවීම් උපකරණ සහ යටිතල පහසුකම් පිළිබඳ අත්පොතක්

guide-to-payment-services-in-sl-booklet-release

 



 

 

 

නව ගෙවීම් උපකරණ, ක්‍රම සහ ක්‍රියාවලි හඳුන්වාදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගෙවීම් කර්මාන්තය මේ වන විට සීඝ්‍ර වෙනසකට භාජනය වෙමින් පවතී. සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම ඇතුළුව, මෙම නව ගෙවීම් ක්‍රියාවලි විසින් පාරිභෝගික අත්දැකීම නව්‍යකරණය කර ඇති අතර ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදු කිරීමටද හැකියාව ලබා දී ඇත.

මෙම පසුබිම තුළ, සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම සඳහා ගෙවීම් සේවා පිළිබඳ දේශීය ප්‍රකාශනයක අවශ්‍යතාවය හඳුනාගෙන, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් උපකරණ, ක්‍රම සහ යටිතල පහසුකම් පැහැදිලි කරමින් ‘ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශය’ නමින් අත්පොතක් නිකුත් කිරීමට තීරණය කරන ලදි. මෙම අත්පොත 2022.04.12 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ඩී. කුමාරතුංග මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා වෙත පිළිගන්වන ලදී.

මෙම අත්පොත මගින් සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම වන චෙක්පත්, ගෙවීම් කාඩ්පත් මෙන්ම මෑතකදී හඳුන්වා දුන්, ජංගම ගෙවීම් යෙදුම් සහ QR කේත පදනම් කරගත් ගනුදෙනු (LANKAQR) සහ තත් කාලීන දළ පියවීම් පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, ජංගම දුරකථන පදනම් කර ගත් විද්‍යුත් මුදල් පද්ධති වැනි ගෙවීම් නිෂ්කාශන සහ පියවීම් පද්ධති පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සපයයි. තවද, මෙම අත්පොත මගින් සුළු පරිමාණ ගෙවීම් යටිතල පහසුකම් වන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ හවුල් යාන්ත්‍රණය, විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය මෙන්ම විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය සහ ඒ මත පදනම් වූ ලංකාපේ මංගත ගෙවීම් වේදිකාව, ජස්ට්පේ (JustPay), ඍජු හර සේවාව (Direct Debit) වැනි ගෙවීම් සේවා සවිස්තරාත්මකව පැහැදිලි කරනු ලබයි.

මෙම අත්පොත ලියා ඇත්තේ නිතර අසන පැන (FAQs) සහ රූප සටහන් ඇතුළුව කියවීමට පහසු ආකෘතියකින්, සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් මූල්‍ය ගනුදෙනු සිදු කළ හැකි ආකාරය අවබෝධ කර ගැනීමට උපකාරි වන ලෙසයි. මෙම අත්පොත තුල තාක්ෂණික යෙදුම් පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීම් අන්තර්ගත වීම නිසා අධීක්ෂකවරුන්, ගුරුවරුන් සහ විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ යෙදී සිටින සිසුන්ට විෂය කරුණු පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කර ගැනීම සදහා උපකාරී වේ. මූල්‍ය ආයතනවල සේවකයින්ට මෙම අත්පොත ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු සඳහා මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කිරීම මගින් පාරිභෝගික විමසුම්වලට හොදින් ප්‍රතිචාර දැක්විය හැකි වන අතර එමගින් පාරිභෝගික තෘප්තිය වැඩි කිරීමටද ඉවහල් වේ.

මෙම අත්පොතෙහි ඉලෙක්ට්‍රොනික පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් බාගත කර ගැනීම සදහා කටයුතු සලසන අතර මුද්‍රිත පිටපත පිළිබද උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අලෙවි කවුන්ටරවලින් මිලදී ගැනීමට හැකි වනු ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව