ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රු. බිලියන 12.8 ක අරමුදල් සැපයීමේ යෝජනාව රටේ කෘෂිකාර්මික විප්ලවය බලගැන්වීම පිණිස බලාපොරොත්තු සහගත රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයක්

IMG_1381

 




 

ශ්‍රී ලංකා පදනම් ආයතනය, කොළඹ (ඔක්තෝබර් 26, 2021): ශ්‍රී ලංකාවේ කාබනින පොහොර නිෂ්පාදන මෙහෙයුමක් සඳහා හවුල් ව්‍යාපාරයක් ඇති කර ගැනීම සඳහා මූලික පරාමිතින් ස්ථාපිත කිරීම පිණිස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, අද දින පෝලන්තයේ ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන රෙජිනා පර්පුරියා ෆුන්ඩුස් සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ලැබීය. දේශීයව නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර කරා කෘෂිකර්මාන්තයේ ක්‍රමික යොමුවීම ඉල්ලා සිටින ‘සෞභාග්‍යයේ දැක්ම’ රටේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි කෘෂිකර්ම සංවර්ධන ප්‍රතිපත්තියෙහි ප්‍රධාන උපායමාර්ගික ක්‍රියාකාරකම් මෙම ගිවිසුම සමගින් දියත් වනු ඇත.

ඉමහත් අනාගත බලාපොරොත්තු තැබිය හැකි මෙම රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ යන මහතුන් හමුවෙහි නිලවශයෙන් සකස් කරන ලදී.  රෙජිනා පර්පුරියා ෆුන්ඩුස් සමාගමේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති පෝලන්ත ව්‍යවසායක හියුබට් ඩ්‍රැබික් සහ  කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේවර්ධන යන මහතුන් ඊට අත්සන් තබනු ලැබීය.

“වසංගත කාලසීමාවේදී අපේ ජාතිය වගේම අපේ ආර්ථිකයත් බේරා ගන්න කෘෂිකර්මාන්තය ඉතාමත්ම තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ලැබුවා”, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවැසීය. “අපේ අතිගරු ජනාධිපතිතුමන්ගේ දූරදර්ශී මගපෙන්වීම හා ජාතියේ සංවර්ධනය වෙනුවෙන් එතුමා ඉදිරිපත් කළ ජාතික ප්‍රතිපත්ති රාමුව අනුව, හානිකර රසායනික ද්‍රව්‍ය හා දූෂකවලින් ඉවත්ව සෞඛ්‍ය සම්පන්න, කාබනික ගොවිතැන කරා කඩිනමින් යොමුවීම මගින් අපේ ගොවි මහතුන් සවිබල ගැන්වීමට හා දිරි ගැන්වීමට ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් මූලික පරාමිතීන් ස්ථාපනය කරන්නට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මේ අවබෝධතා ගිවිසුම යටතේ ප්‍රධාන උපායමාර්ගික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල කෙරෙහි මම මහත් බලාපොරොත්තුවෙන් පසුවෙන අතරම මේ  සියලු කටයුතු සාර්ථක වේවා යැයි දෙපාර්ශවයටම සුබ පතනවා”

කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අදහස් දක්වමින් “කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ගුණාත්මකභාවය හා විශිෂ්ඨත්වය පිළිබඳ වසර 150 ඉක්මවූ උරුමයක් සහිත රාජ්‍ය ආයතනයක්” බව පැවැසීය.  “කොමර්ෂල් පොහොර සමාගමේ මෙහෙවර වන්නේ ශ්‍රී ලංකාව පුරා ගොවි ජනතාවට වඩා උසස් තත්ත්වයෙන් යුතු පෙහොර ලබා දීමයි. දේශීය ගොවීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළ ගුණාත්මකබවින් යුතු පොහොර ලබාදීම මගින් සමාගම ඔවුන්ගේ විශ්වාසය සහ පක්ෂපාතිත්වය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. කොමර්ෂල් පොහොර සමාගමේ තහවුරු කරන ලද තත්ත්ව සහතිකය සමගින්, අනාගත බලාපොරොත්තු තැබිය හැකි මෙම රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ තිරසර වර්ධනය කෙරෙහි සුවිශාල දායකත්වයක් දක්වන බවට අපට සහතික වීමට පුළුවන්”, එ මහතා වැඩිදුරටත් පැවැසීය.

 




 

 

දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද තිරසාර ආර්ථික වර්ධනය අරමුණු කරගත් පුළුල් පරාසයක මූලාරම්භයන්හි ආයෝජනය කිරීම පිණිස සංවර්ධන දිශානත රජයන් සහ සංවිධාන සමග කටයුතු කරන රෙජිනා පර්පුරියා ෆුන්ඩුස් සමාගම පෝලන්ත ව්‍යාපාර ප්‍රාග්ධන සුසංධානයකි. නාගරික හා සමාජීය ආර්ථිකය මෙන්ම වාණිජ ව්‍යාපාර සංවර්ධනයේ නියැළෙන ව්‍යවසායකයන්ට අතවැලක් සැපයීම සිය මෙහෙවර ලෙස සලකා 2004 වසරේදී තනි පවුල් ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත රෙජිනා පර්පුරියා ෆුන්ඩුස් සමාගමට පෝලන්ත කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේත්, පෝලන්ත වාණිජ මණ්ඩලයේත් පෝලන්තයේ ඇතැම් ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවල ද සහාය සම්බන්ධ කරයි.  මෙම අරමුදල සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණික හවුල්කරු ලෙස පෝලන්තයේ ප්‍රධානතම ජාතික පර්ෂදයක් වන මසෝවියා තොරතුරු තාක්ෂණ පර්ෂදයේ සහාය හිමිවන අතර පෝලන්ත හා අන්තර්ජාතික සංවිධාන 400 කට වැඩි ගණනක් බල ගැන්වීම පිණිස  පර්යේෂණ හා සංවර්ධන ආයතන හයක සහ ආයෝජන අරමුදල් තුනක ගෝලීය සම්පත් සහ විශේෂඥ දැනුම කෙරෙහි සම්බන්ධ වීමට එමගින් හැකිවී තිබේ. මෙම ශක්තිමත් මූල්‍ය, තාක්ෂණික හා තාක්ෂණවේද සංස්ථාපිතයන් හා  ඒකාබද්ධ වෙමින් ජල පිරිපහදුව, අපද්‍රව්‍ය මගින් බලශක්තිය, කාබනික කෘෂිකර්මාන්තය වැනි ව්‍යාපෘතිවල සහ ඒ ආශ්‍රිත සැපයුම් දාමවල යුරෝපයේ මෙන්ම ආසියාවේ බොහෝ රටවල එම අරමුදල ගෝලීයව ආයෝජන සිදුකර ඇති අතර මෙය ශ්‍රී ලංකා කෘෂිකර්මාන්ත ක්ෂෙත්‍රයෙහි කාලීන හා තීරණාත්මක පරිවර්තනයක ආරම්භය සනිටුහන් කරමින් ප්‍රාග්ධනය, තාක්ෂණය හා දැනුම ඒ කරා රැගෙන එනු ඇත.

කැපී පෙනෙන ආයෝජන ප්‍රතිඵල අත්කර ගැනීම පිණිස, රෙජිනා පර්පුරියා ෆුන්ඩුස් ආයතනය අවශ්‍ය කර්මාන්ත, තාක්ෂණවේද සහ ශිල්පීය ඥාණය මගින් දායකත්වය ලබා දෙන අදාළ අංශයේ ආයෝජකයන්, ව්‍යාපෘති මූල්‍ය පාර්ශවකරුවන් සහ විශේෂඥ තාක්ෂණ දැනුමැති පාර්ශවකරුවන් ඇතුළත් න්‍යාසීය කළමනාකරණය මත පදනම් වූ නව්‍ය පර්ෂද සහයෝගිතාවයක් යොදා ගනියි. අරමුදල් සතු බවට සහතික කිරීමක් සහිතව ශ්‍රී  ලංකා රුපියල් බිලියන 12.8 ක මූළු ආයෝජනයක් සහිත මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය සැලසුම් කිරිමට, මූල්‍යයනයට, ගොඩ නැගීමට සහ මෙහෙයවීමට රෙජිනා පර්පුරියා ෆුන්ඩුස් ආයතනය අදහස් කරයි. මෙහි මෙහෙයුම් කටයුතු උපායමාර්ගිකව ත්‍රිකුණාමලය, මොණරාගල, අනුරාධපුර සහ හුණුපිටිය යන ප්‍රදේශවල ස්ථාපනය කරනු ලබන යන්ත්‍රාගාර හතරකට ව්‍යාප්ත කරනු ලබන අතර ඒ සඳහා අති නවීන පර්යේෂණ හා සහතිකකරණ විද්‍යාගාරයක සහාය හිමිවනු ඇත. එය කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වෙනුවෙන්ම වාර්ෂිකව කාබනික පොහොර මෙට්රික් ටොන් 200,000 ධාරිතාවක් ගිවිසුම් ප්‍රකාරව නිපදවනු ඇත. පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය කාබනික අපද්‍රව්‍ය කොමර්ෂල් පොහොර සමාගම සපයනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුරදර්ශී නායකත්වය යටතේ කාබනික කෘෂිකර්මාන්තය කරා තිරසරව සංක්‍රමණය වීමේ ශ්‍රී ලංකාවේ අභීත ප්‍රයත්නය අගය කරන අතරම අනොන්‍යව ප්‍රතිලාභී හවුල්කාරිත්යක් වීමේ පෙර නිමිති ඇති මෙම ව්‍යාපෘතියේ මූලික පරාමිතීන් ස්ථාපිත කිරීම පිණිස මෙම අවස්ථාව ලබාදීම වෙනුවෙන් අපගේ කෘතඥතාවය පළ කරන බව හියුබට් ඩ්‍රැබික් මහතා පැවැසීය. “මෙය නිසැකවම ශ්‍රී ලංකාව හා පෝලන්තය අතර ද්විපාර්ශවික සහයෝගිතාවයේ ආරම්භය වන අතර සාර්ථක හා ප්‍රගාමී ඒකාබද්ධ ව්‍යාපාරයක් අපි බලාපොරොත්තු වන්නෙමු,”  ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.

මීළග සති දෙක තුළ ෆුන්ඩුස් සමාගම සෑහීමකට පත්වන ආකාරයෙන් අන්‍යෝන්‍ය සහයෝගය සහිතව ආයෝජන යෝජනාව සහ අරමුදල් ධාරිතාවය පිළිබඳ විස්තීරණ මූල්‍ය තත්ත්ව විශ්ලේෂණයක් කොමර්ෂල් පොහොර සමාගම සිදුකිරිමට නියමිත අතර ඉන් පසු ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගනු ඇත. අනතුරුව අද දින සිට සති තුනක් ඇතුළත අනොන්‍යව එකඟවන විස්තරාත්මක කොන්දේසි සහිත වඩා විස්තරාත්මක ඒකාබද්ධ හවුල් ව්‍යාපාර ගිවිසුමකට  සියලු පාර්ශව එළඹෙනු ඇත.

පෝලන්ත ආයෝජන පාර්ශවකරුවන්ගේ සුසංධානය සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් අතර අනොන්‍ය ව්‍යාපාරික සංවර්ධන අවස්ථා සඳහා සාකච්ඡා 2020 වසරේ මුල් භාගයේදී ආරම්භ වූ අතර එහිදී,  බලාපොරොත්තු තැබිය හැකි ආයෝජන අවස්ථා ලෙස කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය අවධාරණය කරන ලදී. මෙම ආයෝනය පෝලන්ත පාරිභෝගික වෙළඳපොළ මෙන්ම අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල වෙළඳපොළ වෙත පිවිසීමට අපේක්ෂා කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව