ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදිත දරුවන් සවිබලගැන්වීමට Rootcode පදනම දියත් කෙරේ

Rootcode Foundation (1) (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනයවන තාක්ෂණ සමාගමක්වන Rootcode, මෙරට අඩු වරප්‍රසාදිත පාසල් සිසුන්ට තාක්ෂණික ලෝකයේ දොරගුළු විවෘත කරදීම වෙනුවෙන් පසුගියදා Rootcode පදනම (Rootcode Foundation) හඳුන්වා දුනි.

මෙම පදනමෙහි අරමුණ වන්නේ, දිවයින පුරා පිහිටි අඩු පහසුකම්වලින් යුත් පාසල්වල තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික හැකියා වර්ධනය කිරීමත්, එම පාසල්වල සිසුන්ට තාක්ෂණික අංශය ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීමට දිරිගන්වමින්, ඔවුන් අනාගතයේ තාක්ෂණික අංශයේ රැකියා සඳහා යොමුකිරීමත් ය.

පවතින ආර්ථික අභියෝග හමුවේ බොහෝ සිසුන් තම උසස් අධ්‍යාපන කටයුතු අත්හැර දැමීමට යොමුව ඇති මෙවන් අවස්ථාවක මෙම වැඩසටහන දියත්කිරීම ඉතාම කාලෝචිත පියවරක් බව Rootcode හි විශ්වාසය යි. තව ද, දිගුකාලීනව ගත්කල ශ්‍රී ලංකාව තුළ මතුවෙමින් පවතින කුසලතා හිඟය පියවීමටත්, කුසලතා නැංවීමටත් මේ හරහා හැකියාව ලැබෙන අතර, එය කලාපීය සහ ගෝලීය වශයෙන් තාක්ෂණික කේන්ද්‍රයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව සතු දැක්මට ද රුකුලක් වනු නිසැක ය.

මෙහි පළමු ව්‍යාපෘතිය ඉකුත් ජනවාරි 14 වැනිදා හොරණ ශ්‍රී සිද්ධාර්ථ කනිෂ්ඨ විදුහලේදී ගුරුවරුන් සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය. එම අවස්ථාවට එක්වූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ඩී.එල්.වී.කේ ජාසිංහ ද සිය දේශනය අතරතුර මෙම වැඩපිළිවෙළ සහ පදනම අගය කළේය. සෙසු බොහෝ වැඩසටහන්වලට වෙනස්ව යමින් සම්පූර්ණ වසරක් පුරා පාසල් සහ සිසුන් වෙත තාක්ෂණික පුහුුණුවක් ලබාදීමට මෙම වැඩසටහන හරහා කටයුතු සලසා තිබීම ඔහු ප්‍රශංසාවට ලක්කළේය. ශිෂ්‍යත්ව පිරිනැමීම මෙන්ම පරිගණක විද්‍යාගාර පිහිටුවීම සහ ගුරුවරු පුහුණුකිරීම ඇතුළු තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් නැංවීමට ආධාර කිරීම ද මෙම වැඩසටහන යටතේ සිදු වේ.

පළමු ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් 85 දෙනෙකු අධ්‍යාපනය ලබන ශ්‍රී සිද්ධාර්ථ කනිෂ්ඨ විදුහලට මේ යටතේ තාක්ණය ඉගැන්වීමේ නව අවස්ථාවක් හිමිව තිබේ. මෙම වැඩසටහන තුළින් පාසල් දරුවන්ට කෙටි හා දිගුකාලීන අධ්‍යාපන අවස්ථාවක් පිරිනැමීමට අමතරව සමස්ත රටටම සහාය වීමක් සිදුවේ. ශ්‍රී සිද්ධාර්ථ කනිෂ්ඨ විදුහලේ විදුහල්පති එම්.එච්.එල්. චතුරංග මහතා ද වැඩසටහන අගය කරමින් අදහස් දැක්වූවේය.

″තාක්ෂණය හැදෑරීම තුළින් මගේ ජීවිතය පමණක් නොවේ, මගේ පවුලේ ජීවිතයත් ඇතැම්විට තවත් ඉදිරි පරම්පරාවක ජීවිතයත් වෙනස් කිරීමට මට හැකිවුණා. නමුත් ඒ සඳහා අවශ්‍ය අවස්ථා, සම්පත් හෝ දැනුම අපේ රටේ හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ.  Rootcode පදනම හරහා අපි උත්සාහ ගන්නේ අපේ රටේ අඩු වරප්‍රසාදිත දරුවන්ට තාක්ෂණය ඉගෙන ගැනීමට සහාය වෙමින් ඔවුන්ගේ අනාගත ජීවිතය සාර්ථක කරගැනීමට දායක වීමටයි″, යනුවෙන් Rootcode නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අලගන් මහලිංගම් මහතා ප්‍රකාශ කළේය.

Rootcode පදනම, වසරකට එක් අඩු පහසුකම් සහිත පාසලක් බැගින් තෝරාගනිමින් වැඩමුළු සහ අත්දැකීම් පදනම් කරගත් අධ්‍යයන ක්‍රියාකාරකම් ඔස්සේ එම සිසුන්ගේ තාක්ෂණික හැකියා වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. Rootcode යනු මෘදුකාංග ඉංජිනේරුවන්, දත්ත විද්‍යාඥයින්, කෘතිම බුද්ධි ඉංජිනේරුවන්, ව්‍යාපාර විශ්ලේෂකයින් සහ පරිශීලක අත්දැකීම් නිර්මාණකරුවන් ආදී තාක්ෂණික විශේෂඥයින් රැසකින් සමන්විත සමාගමකි. ඔවුහු ද මෙම වැඩසටහනට ඍජුවම සම්බන්ධ වෙමින් වසරක් පුරා පාසල් සිසුන්ට තාක්ෂණය පිළිබඳ දැනුම සමීප කිරීමට සූදානමින් සිටිති.

මෙම වැඩසටහන මඟින් දරුවන්ට තාක්ෂණික ලෝකය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමට මෙන්ම නවතම ප්‍රවණතා සහ තාක්ෂණ සමඟ සිය දැනුම යාවත්කාලීනව සිටීමට ඉඩ සැලසෙනු ඇතැයි Rootcode බලාපොරොත්තු වෙයි. එමඟින් ශ්‍රී ලංකාවෙන් පිටත ලෝකයේ සිදුවන දේ සහ ඉදිරි අවස්ථා‍ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔවුන්ට හිමිවනු ඇත.

″සමාගමක් වශයෙන් උපරිම තලයකට ළඟාවීමට Rootcode සමාගමට හැකිවී තිබෙනවා. එම සාර්ථකත්වයට අප ඔසවා තැබුවේ අප සතු කුසලතා පූර්ණ කණ්ඩායමයි. එම සාර්ථකත්වයත් සමඟ නැවතත් දේශීය ප්‍රජාව වෙනුවෙන් යම් සත්කාරයක් කළ යුතු බව අපගේ විශ්වාසයයි. ඒ අනුව පාසල් දරුවන්ට සහාය වෙමින් තාක්ෂණ කර්මාන්තයටත්, අපේ රටටත් සාර්ථකත්වය සඳහා සහාය වීමට අපට හැකිවෙනවා″, යනුවෙන් Rootcode ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව නවතම තාක්ෂණ දැනුම නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු බවට පත්කිරීමේ හැකියාව Rootcode සතු ය. ඒ අනුව යමින් මෙසේ තෝරාගනු ලබන පාසල්වල සිසුන් සහ ගුරුවරු පුහුණු කිරීම වෙනුවෙන් ද සමාගම විශාල වශයෙන් ආයෝජනය කරයි.

Rootcode යනු ගෝලීය තාක්ෂණික වෙළෙඳපොළ තුළ වේගයෙන් වර්ධනය වෙමින් පවතින සමාගමකි. ලොව පුරා විවිධ කර්මාන්ත අංශ 30කට වැඩි ප්‍රමාණයකට නව්‍ය තාක්ෂණ විසඳුම් සපයන Rootcode සමාගම, එම පාරිභෝගිකයින්ට ව්‍යාපාර සහ තාක්ෂණ අංශයන්ගේ සිදුවන නිරන්තර වෙනස්වීම්වලට පහසුවෙන් අනුවර්තනය වීමට සහාය වෙයි. ජංගම දුරකථන ඇප්, වෙබ් ඇප්, ඩේටා ඇනලටික්ස්, UI/UX නිර්මාණ, machine learning, කෘතිම බුද්ධිය සහ ක්ලවුඩ් වැනි විවිධ තාක්ෂණික විසඳුම් හරහා ලොව පුරා මිලියන 79කට වැඩි ජනතාවකට සහාය වීමට Rootcode සමාගමට හැකිව තිබේ. සියයකට වැඩි තම කාර්යමණ්ඩලය තවදුරටත් වර්ධනය කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ තම විශිෂ්ටත්වයේ ප්‍රමිතිය ඉදිරියටත් රඳවා ගැනීම Rootcode සමාගමේ අපේක්ෂාවයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව