ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශුරතාවලියට අයැදුම්පත් දහසකට වැඩි ප්‍රමාණයක්

Capture

ශූරතාවලිය සැප්තැම්බර් 28 ඇරැඹේ

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් සහ කලාපීය සංවර්ධන කමිටුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා මේ වනවිට වාර්තාගත අයැදුම්පත් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර, තවදුරටත් අයැදුම්පත් එවීමට අවසන් දිනය මෙම මස 25 වැනිදා පස්වරු 3.00 දක්වා දීර්ඝ කර තිබේ.
 



 

මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා නයිවල, දෙවොළපොල පිහිටි නිව් සනිරෝ එයාර්පෝර්ට් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත මෙම ශූරතාවලියට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ බාලක බාලිකාවන්ට පමණක් සහභාගි විය හැකි අතර, සෑම වයස් කාණ්ඩයකම ඒකල ශුරයාට සහ ශුරියට නවීන පන්නයේ වටිනා ටැබ් පරිගණක යන්ත්‍ර ත්‍යාග වශයෙන් ලබාදීමට කටයුතු සූදානම් කර තිබේ. මීට අමතරව සෑම වයස් කාණ්ඩයකම යුගල තරග ශූරයන්ට ප්‍රමිතියෙන් යුතු බැඩ්මින්ටන් රැකට් කට්ටලයක් පිරිනැමීමටත්, සෑම වයස් කාණ්ඩයකම ඒකල හා යුගල අනුශූරයන්ට බැඩ්මින්ටන් ආම්පන්න බෑගයක් පිරිනැමේ. මීට අමතරව සෑම වයස්  කාණ්ඩයමක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙන් ඩ්‍රයිව් ද, අර්ධ අවසන් පූර්ව වටයට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේස් යුවල බැගින් පිරිනැමීමට ද තරගාවලියේ අනුග්‍රාහකයන් වන සන්ක්වික්, මැක්ෆොයිල්, මොබිල්, ලී නින්, මල්ටිලැක්, යුනයිටඩ් ස්පෝර්ට්ස් සහ ප්‍රයිම් ගෘප් ආයතන ඉදිරිපත් වී සිටී.

මෙම ශූරතාවලියේ සමාරම්භක උත්සවය සැප්තැම්බර් මස 28 වැනිදා පැවැත්වෙන අතර, මූලික වටයේ තරග එදින සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව හා අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් මස 1 වැනිදා පැවැත්වෙන අතර, අවසන් පූර්ව, අවසන්  තරග සහ සමාප්ති උත්සවය ඔක්තෝබර් මස 2 වැනිදා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව මේ තරගාවලිය පවත්වනු ලබන්නේ පාසල් වියේ පසුවන ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලයේ දොරටු විවර කරදීමේ අරමුණින් යුතුවය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව