ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම ඓතිහාසික පියවරක් තබමින් GIPA සම්මාන වැඩසටහන හදුන්වා දෙයි

Image - GIPA

ලොව ප්‍රථම වරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම් වෘත්තිකයන් පුළුල් ලෙස ඇගයීමට  ලක්කිරීමේ පුරෝගාමී ප්‍රයත්නයක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම (Sri Lanka Insurance Corporation General Ltd – SLICGL) ලොව ප්‍රථම වරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම් වෘත්තිකයන් පුළුල් ලෙස ඇගයීමට ලක්කිරීම සඳහා ‘General Insurance Pinnacle Achiever’ (GIPA) නමින් සම්මාන වැඩසටහනක් හඳුන්වා දී තිබේ. මෙය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම්කරණ කලාව සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමුකරවමින් එම ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා දරනු ලබන සුවිශේෂී ප්‍රයත්නයකි.

 



 

වසර 60 කට අධික ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම පැහැදිලිව හඳුනාගත් දෙයක් නම්, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම් නිලධාරීන්ගේ ප්‍රයත්නය අගය කිරීමට, ඔවුන්ගේ දියුණුවට මංපෙත් විවර කිරීමට සහ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම්කරණය සම්බන්ධ ප්‍රමිතීන් නියම කිරීමට ගෝලීය හා ස්වාධීන ක්‍රමවේදයක් නොමැති බවයි.

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයට Million Dollar Round Table (MDRT) වැඩසටහන සහ Life Insurance Marketing and Research Association (LIMRA) මගින් අනුමතකරන ලද පුහුණු වැඩසටහන් ආදිය ඇති නමුත්, සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම් වෘත්තිකයන් වෙනුවෙන් මේ දක්වා එබඳු වැඩසටහනක් නොතිබිණි.

මහා පරිමාණයේ බහුජාතික රක්ෂණ සමාගම් රැසක් සිය විකුණුම් වෘත්තිකයන් වෙනුවෙන් අභ්‍යන්තර මට්ටමින් උත්කර්ෂවත් සම්මාන උළෙලවල් සංවිධානය කළද, ඒ කිසිදු වැඩසටහනක් මගින් සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම් වෘත්තිකයන් අගය කිරීම සහ ඔවුන්ගේ හැකියා ගෝලීය මට්ටමෙන් ඇගයීම සඳහා විශේෂ අවධානයක් යොමු නොකෙරිණි. GIPA වැඩසටහනේ අරමුණ වන්නේ මෙම අඩුපාඩුව මගහැරවීම ය. ඒ ඔස්සේ, සාමාන්‍ය රක්ෂණ සමාගම්වල සාර්ථකත්වයට උරදෙමින් එම කර්මාන්තය තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා සුවිශාල දායකත්වයක් දක්වන විකුණුම් වෘත්තිකයන් ඇගයීමට ලක්කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම බලාපොරොත්තු වෙයි.

ස්වාධීන සන්නාමයක් වශයෙන් ආරම්භකර ඇති GIPA, විවිධ රටවල සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයන්හි විශිෂ්ට දක්ෂතා දක්වන විකුණුම් වෘත්තිකයන් ඇගයීමට ලක්කරනු ඇත. සමස්ත වාරික ප්‍රමාණය (Overall Volume Recognition) , නව ව්‍යාපාර වාරික ප්‍රමාණය (New Business Contribution), ව්‍යාපාර රදවාගැනීමේ සාර්ථකත්වය (Recognition to Business Retention Success), වාර්ෂිකව ලබාගන්නා වර්ධන අනුපාතයන් (Year on Year Growth), තමන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර එකතුවේ තිරසාර බව (Level of Sustainability in the Business Portfolio), සහ ආයතනික මට්ටමින් සහ ජාතික මට්ටමෙන් ලබාගෙන ඇති ශ්‍රේණිගත කිරීම් (Position in the Organisational and National Ranking) යන ප්‍රධාන දර්ශක 06 තුළ පෙන්නුම් කරන සාර්ථකත්වය මෙම සම්මාන සඳහා මූලික වශයෙන් සැලකිල්ලට ගනු ලැබේ. මෙය කිසියම් රටකට එහි සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා අවශ්‍ය බහුවිධ විකුණුම් කුසලතා හා ප්‍රමිතීන් හඳුනා ගැනීමට බෙහෙවින් වැදගත් වනු ඇත. එමෙන්ම එය ලොව පුරා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ වඩාත් විධිමත් හා ප්‍රායෝගික ලෙස කුසලතා වැඩිදියුණු කිරීම සඳහා පැහැදිලි මගපෙන්වීමක් ලබාදෙයි.

GIPA වැඩසටහන යටතේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම් විශිෂ්ටයන් මූලික වශයෙන් ‘Achiever’, ‘Star’ සහ ‘Legend’ යන කාණ්ඩ යටතේ පියවරෙන් පියවර ඇගයීමට ලක්කිරීමට නියමිත ය. ඉන් අනතුරුව ඔවුන්ට තම ශක්‍යතා වර්ධනය කරගැනීම සඳහා විවිධ අවස්ථා උදාවනු ඇති අතර, ක්ෂේත්‍රයේ නවෝත්පාදන භාවිතා කිරීමටද හැකියාව ලැබෙනු ඇත.

විකුණුම් ක්ෂේත්‍රය තුළ වෘත්තිකයන් අත්කරගන්නා ජයග්‍රහණ නිසි පරිදි ඇගයීමට ලක්කිරීම මගින් ඔවුන් දිරිමත් වීම සහ ඔවුන්ගේ වෘත්තීය දියුණුව සාක්ෂාත් වීමට අමතරව සමස්තයක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් වැඩිදියුණු වීම සිදුවන බවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම දරන විශ්වාසය GIPA වැඩසටහන මගින් මැනැවින් නිරූපණය වේ. එමෙන්ම එය ගෝලීය මට්ටමින් රක්ෂණ ක්ෂේත්‍රය ජයගැනීම සඳහා සමාගම දරන උත්සාහයට මනා සාක්ෂියකි. මෙම ඉලක්ක ළඟා කරගනිමින් GIPA වැඩසටහන ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ අනෙකුත් සාමාන්‍ය රක්ෂණ සමාගම් සමග එක්ව කටයුතු කිරීමටද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම බලාපොරොත්තු වෙයි.

GIPA කවුන්සිලය පිහිටුවීම මෙම වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා ආරම්භක අදියරේදීම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත පියවරකි. වැඩසටහන අදාළ ප්‍රමිතීන් තීරණය කරමින්, ලොව පුරා විවිධ වෙළඳපොළවලට ගැළපෙන ආකාරයට මෙම වැඩසටහන අනුවර්තනය කළ හැකි ආකාර සොයාබැලීම මෙම කවුන්සිලයේ මූලික වගකීම වේ. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයන්ගෙන් සමන්විත ස්වාධීන GIPA කවුන්සිලයක් පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම මේ වනවිට පියවර ගනිමින් සිටින අතර, GIPA වැඩසටහන ජාත්‍යන්තර මට්ටමින් දියත් කිරීම මෙම කවුන්සිලයේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත. මූලික ප්‍රමිතීන්  ආරක්ෂා කරගන්නා අතරම, විවිධ රටවල විශේෂ තත්ත්වයන්ට අනුව තක්සේරුකරණ විධිවිධාන හැඩගැස්වීමේ කටයුතු මෙම කවුන්සිලයේ මගපෙන්වීම අනුව සිදුකෙරේ. මෙම බහුජාතික කවුන්සිලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගේ සහයෝගය ඔස්සේ GIPA වැඩසටහන කඩිනමින් ජාත්‍යන්තර තලය තුළ ව්‍යාප්ත කෙරෙනු ඇත.

GIPA සැලසුම යථාර්ථයක් බවට පත්කරගැනීමේ උත්සාහයේ මුල් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම 2023 වසරේදී එම සම්මාන වැඩසටහන අභ්‍යන්තර මට්ටමින් ආරම්භකරන ලදී. සමාගම තුළ විශිෂ්ටතම දක්ෂතා දැක්වූ වෘත්තිකයන් 20 දෙනෙකු ඇගයීමට ලක්කිරීම එහි ප්‍රථම අරමුණ විය. මෙම විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීම සඳහා සමාගම ගෝලීය තලයේ පුරෝගාමී රක්ෂණ හා ප්‍රතිරක්ෂණ තැරැව්කරණ සමාගමක්වන J.B. Boda සමාගම සමග අත්වැල් බැඳගත් අතර, සම්මාන උළෙල නුදුරු දිනයක මැලේසියාවේදී පැවැත්වෙනු ඇත.

ඉදිරියේදී මෙම විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමට අමතරව ඔවුන්ට ලොව රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙතින් දැනුම හා මගපෙන්වීම ලබාගැනීමට අවස්ථාව සලසා දීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගමේ අපේක්ෂාව වී තිබේ. එමෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදන මෙරටට රැගෙන එමින් වඩාත් විශිෂ්ට තලයේ රක්ෂණ සේවා හඳුන්වා දෙන අතරම පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා ලොව ප්‍රමුඛ පෙළේ රක්ෂණ හා තාක්ෂණ සමාගම් සමග හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමටද සමාගම බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගමේ පුරෝගාමී පියවරක්වන මෙම GIPA වැඩසටහන, ඉදිරියේදී සාමාන්‍ය රක්ෂණ විකුණුම් අංශයේ නිම්වළලු පුළුල් කරමින්, එහි විශිෂ්ටයන්ට නිසි ඇගයීම් හිමිවන පසුබිමක් නිර්මාණය කරමින්, ජාත්‍යන්තර සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් සනිටුහන් කරනු නොඅනුමාන ය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව