
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වඩාත්ම ක්‍රියාකාරී සාමාජිකයකු වන වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික වෙළෙඳ සේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන මැයි මස 19 වැනිදා සිට 25 දක්වා වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී සහ ලුම්බිණි විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම ශුරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ වන විට ආරම්භ වී තිබේ. අයැදුම්පත් බාරගැනීම මැයි මස 9 වැනිදායින් නිමාවට පත් වෙයි.
ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත කිරීම්වල පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදින වෙළෙඳ සේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අවුරුදු 11න් පහළ සිට 19න් පහළ දක්වා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30ට වැඩි සහ 70ට වැඩි ජ්‍යෙෂ්ඨ තරග අංශය, අවුරුදු 100ට වැඩි ඒකාබද්ධ වයස් කාණ්ඩයේ ප්‍රවීණයන්ගේ තරග අංශය, වැඩි අවධානය දිනා ගන්නා කාන්තා හා පිරිමි විවෘත තරග අංශය සහ කාන්තා හා පිරිමි ඒකල අවසන් පූර්ව තරගයේ පරාජිතයන් අතර පැවැත්වෙන පළඟ ශුරතා තරග අංශය ඇතුළත්ය.
වෙළෙඳ සේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය මැයි මස 19 වැනිදා පෙරවරු 9.00ට පැවැත්වෙන අතර, අනතුරුව මැයි 23 දක්වා මූලික වටයේ සිට අර්ධ අවසන් පූර්ව වටය දක්වා තරග පැවැත්වීමට නියමිතය. මැයි මස 24 වැනිදා සහ 25 වැනිදා තරගාවලියේ වඩාත්ම උණුසුම් මුහුණුවරක් ගන්නා අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරග පැවැත්වෙනු ඇත. අවසන් දිනයේ පස්වරුවේ සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය.
මැයි මස 13 වැනිදා වන විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරීම් අනුව තරග පෙළ ගැස්ම සිදු කරනු ලබන අතර, තරග පෙළ ගැස්ම මැයි මස 15 වැනිදා කොළඹ 7, කේම්බ්‍රිජ් ටෙරසය, අංක 2 ස්ථානයේදී පැවැත්වීමට නියමිතය. අන්තර්ජාලය ඔස්සේ අයැදුම්පත් යොමු කළ හැකි අතර, වැඩිදුර තොරතුරු 0761759017 දුරකතන අංකයෙන් සදීර ආදිත්‍ය හා සම්බන්ධ වීමෙන් ලබාගත හැකිය. https://www.srilankabadminton.lk/entries/31?fbclid=IwY2xjawJ1InxleHRuA2FlbQIxMQABHnC58cy7nlQJVpkwPPpQ7yo5ZLuWdpOgrIktg05C7yHMXNGmzsvgNxhvusMV_aem_fKuxZmWoIc-gWSC7xHML5A
සියලු තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් 7,50,000 ක මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, මීට අමතරව කුසලාන, පදක්කම් පිරි නැමේ. ජයග්‍රාහකයන්ට, අනුශුරයන්ට සහ අවසන් පූර්ව වටයට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතිකපත් ප්‍රදානය කරන අතර, තරගාවලි කමිටුවේ තීරණය අනුව කනිෂ්ඨ තරග අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
වෙළෙඳ සේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය පිළිබඳ සියලු තොරතුරු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතන වෙබ් අඩවියේ සඳහන් වේ. තරගාවලිය සඳහා McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය සපයනු ලැබේ.