ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම චීනයට යයි

IMG_7944 (LBN)

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු ශ්‍රේණියේ තරගාවලි දෙකක් වන යොනෙක්ස් BWF සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලියට සහ යොනෙක්ස් BWF අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ තනි තරග බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය.  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 7 දෙනකු සහ ක්‍රීඩිකාවන් 8 දෙනකු ඇතුළත් වන අතර, ෂෙනුක් සමරරත්න පිරිමි කණ්ඩායමේ සහ රනිත්මා ලියනගේ කාන්තා කණ්ඩායමේ නායක නායිකාවන් ලෙස කටයුතු කරති.
 



 

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය වෙනුවෙන් චීන බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන එම තරගාවලි ද්විත්වයේ සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය 2024 මෙම මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා ද, අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ තනි තරග බැඩ්මින්ටන් ශූරතාවලිය 2024 ඔක්තෝබර් මස 7 වැනිදා සිට 13 දින දක්වා ද චීනයේ නැංචැං ජාත්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ලොව ප්‍රබලතම බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන එම තරගාවලි ද්විත්වයට රටවල් 40ක් තරග වදින අතර, ශ්‍රී ලංකාව ‘එෆ්‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකාව සමඟ ඉන්දුනීසියාව,  පෝලන්තය, උතුරු මරියානාස් සහ මැකාවෝ එම කාණ්ඩයට ඇතුළත් ය. තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දින පුහුණු වැඩසටහනකට ද සහභාගි වීමට නියමිත අතර, එය මෙම මස 26 වැනිදා සිට 28 දින දක්වා පැවැත්වේ.

සහන් දීලක සහ දුමින්ද නිරෝෂණ මහත්වරු පුහුණුකරුවන් ලෙසත්, අසංක විජේසුන්දර, සුමිත්‍රා දිසානායක, බුද්ධික ද සිල්වා, විජයලක්ෂ්මි පුංචිහේවා නිලධාරී මණ්ඩලය ලෙසත් සංචාරයට එක්වී සිටිති.

ශ්‍රී ලංකා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම

ෂෙනුක් සමරරත්න (නායක),  තිළිණ රාජකරුණා, තිඩස වේරගොඩ, අචින්ත්‍ය මඩපාතගේ, පසිඳු මිහිරංග, සංජුල හඳපාන්ගොඩගේ, පමිත් අත්තනායක.

ශ්‍රී ලංකා කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම

රනිත්මා ලියනගේ (නායිකා), සිතුලි රණසිංහ, රෂ්මි භාග්‍යා මුදලිගේ, වරංගනා ජයවර්ධන, දිලිනි අම්බලන්ගොඩගේ, සඳති හේවාගාල්ලගේ, ඉසුරි අත්තනායක, සිතුමි මිනාරා ද සිල්වා.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව