ස්පාඤ්ඤයේ පැවැත්වෙන 22 වැනි ලෝක කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වන ශ්රී ලංකා කණිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම ඊයේ රාත්රී දිවයිනෙන් පිටත්ව ගියේය. ලබන 17 වැනිදා සිට 30 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ සැන්ටන්ඩර් නුවරදී පැවැත්වෙන මෙවර ශුරතාවලියේදී ශ්රී ලංකාව ‘ජී‘ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙයි.
ලෝක කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩක ක්රීඩිකාවන් 11ක් ඇතුළත් වන අතර, කණ්ඩායමේ කළමනාකරු ලෙස සුමිත් ද සිල්වා මහතා සහ ක්රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස ගයනී හිනිදුමගේ මහත්මිය සමඟ පුහුණුකරු යුක්ති රංගන පෙරේරා මහතා ද කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ශූරතාවලිය සඳහා සහභාගි වන ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන්ට සිය දස්කම් මුවහත් කරගැනීම සඳහා ශ්රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පුහුණු සැසි කිහිපයක්ම පැවැත්විණි.
ශ්රී ලංකා කණිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම මෙසේය.
බාලක– සෙතුම් පෙරේරා, සවිනක වීරසේකර, ජේසන් හෝමර්, පුළිණ වෙල්ලාලගේ, තිළිණ රාජකරුණා, සෙනුක් සමරරත්න, අශිංෂ හේරත්
බාලිකා – රනිත්මා ලියනගේ, පංචාලි අධිකාරී, මනූධි මිතාරා, වරංගනා ජයවර්ධන