ලිට්රෝ ගෑස් සිය නවීනතම ගබඩා පහසුකම් සහ සිලින්ඩර පිරවුම් පහසුකම නවීකරණය සමඟින් නව සන්ධිස්ථානයකට

2 (LBN)

ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ ගෑස්, සපුගස්කන්දේ මාබිම නවීනතම ගබඩා සහ ගෑස් පිරවීමේ පහසුකම නවීකරණය කොට විවෘත කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය. කලාපයේ විශාලතම ගෑස් පර්යන්ත වලින් එකක් ලෙස පිළිගැනෙන, මාබිම පිහිටි මෙම පරිශ්‍රය, අඛණ්ඩ බලශක්ති සැපයුම සහ සිය සේවා සහ මෙහයුම් කටයුතුවල දියුණුව සඳහා ලිට්රෝ ගෑස්හි කැපවීම මනාව පෙන්නුම්කරයි.

 



 

1984 දී Colombo Gas & Water සමාගම පවතින කාලයේදී ආරම්භ කරන ලද මාබිම පිරවුම් පරිශ්‍රය ඉන් වසර 40 කට පසු ජාත්‍යන්තර මෙහෙයුම් සහ ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇත. මාබිම පරිශ්‍ර පහසුකම ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා රු. බිලියනයකට අධික මුදලක් වැය වූ අතර, ඉදිරි වසර 10ක් 15ක කාලයකට ජාතික ගෑස් අවශ්‍යතාවය අඛණ්ඩව සහ කාර්යක්ෂමව සැපයීම සහතික කරනු ඇත. 2014 දී ආරම්භ කරන ලද කෙරවලපිටිය පිරවුම් පරිශ්‍රය මත රඳා පැවැත්ම අඩු කරමින් කෙරවලපිටිය පරිශ්‍රය තරමටම ඉතා වැදගත් කාර්යභාරයක් එමඟින් ඉටු කරනු ඇත.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා අදහස් දක්වමින් ”පාරිභෝගිකයන් වෙත ඉතා සුරක්ෂිත LP ගෑස් සිලින්ඩරයක් ලබා දීම මෙන්ම අඛණ්ඩ LP ගෑස් සැපයුමක් බාධාවකින් තොරව ලබාදීම සහතික කිරීම ඉතා වැදගත් වුණා. 2015 සිට 2019 අතර කාලයේ අපගේ මඟ පෙන්වීම යටතේ පවුල් මිලියන දෙකකට අධික ප්‍රමාණයක් දර වලින් LP ගෑස්වලට මාරුවූ අතර එමඟින් රටේ ගෘහස්ථ LP ගෑස් භාවිතය සැලකිය යුතු ලෙස වැඩි විය. අපගේ වෙළඳපල කොටස 73% සිට 85% දක්වා වැඩි වීමත් සමඟ ජනතාවට අඛණ්ඩව LP ගෑස් සැපයීම සහතික කිරීම වැදගත් වේ. මෙම නවීකරණ කටයුත්ත මගින් ලිට්රෝ ගෑස් හට රට පුරාම විහිදී සිටින සිය පාරිභෝගිකයින්ට අඛණ්ඩව සහ කිසිදු බාධාවකින් තොරව ගෑස් බෙදා හැරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. අළුත්වැඩියා කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වියදම කිසිදු බාහිර පාර්ශ්වයක මූල්‍ය ආධාරයක් හෝ ණය මුදලකින් තොරව ආයතනයේ සංචිත මුදල්වලින් පමණක් සිදු කර තිබීම ඉතාම වැදගත් කරුණකි. තවද, මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථක කරගැනීමට හැකිවූයේ අපගේ සම්පුර්ණ කණ්ඩායමේම කැපවීම සහ දායකත්වයෙන් වන අතර මේ සඳහා ලිට්රෝ හි අපගේම ඉංජිනේරුවන්ගේ දායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රවීණයන් කිහිප දෙනෙකුගේ දදායකත්වය අමතක කල නොහැකියි. 2016 දී සැලසුම් කරන ලද මෙම ව්‍යාපෘතියට 2018 දී මූල්‍ය පහසුකම් ලැබුණු අතර 2020 දී ආරම්භ කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, පැවැති දේශපාලන පසුබිම හේතුවෙන් 2020 මුල වන විට අවශ්‍ය සියලුම යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන තිබුණද, ව්‍යාපෘතිය දියත් කිරීම ප්‍රමාද විය. වසර දෙකහමාරක් තිස්සේ භාවිතයකින් තොරව තිබූ යන්ත්‍ර සූත්‍ර යලි පන ගන්වා ඇරඹීම සඳහා වූ ක්‍රියාවලිය සඳහා නව තාක්ෂණය සහ ප්‍රවීණයන්ගේ සේවය ලබාගැනීමට විශාල මුල්‍ය සහ දැනුම් සම්භාරයක් වෙන් කළ බැවින් එය ඉතා දැවැන්ත කාර්යයක් බවට පත්විය.

ලිට්රෝ ගෑස් සමාගම 2022 ආර්ථික අර්බුද කාලසමයේදී ගෑස් හිඟය අවම කිරීම සහ ජාතික ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කිරීමට දින 20ක් ඇතුළත ගෑස් සිලින්ඩර මිලියන 2.2ක් බෙදා හැරීම මඟින් ජාතික සුබසාධනය සඳහා සිය කැපවීම මැනවින් පෙන්නුම් කර ඇත. විවිධ අධ්‍යාපනික වැඩසටහන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින් ආරක්ෂාව සඳහා සිය කැපවීම පෙන්නුම් කර ඇති ලිට්රෝ ගෑස් මාබිම පරිශ්‍රය නවීකරණය කිරීම මඟින් ඒ සඳහා ඔවුන් ප්‍රයෝගිකවම ක්‍රියාත්මක වන බව මොනවට පැහැදිලි කරයි.

මාබිම පරිශ්‍රය මඟින් කෙරවලපිටිය පරිශ්‍රය සමඟ එක්ව රට තුළ වැඩිවන LP ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහාත්, සැපයුම් සහ බෙදා හැරීම් ජාලය ශක්තිමත් කිරීම පිණිසත් රට තුල රැකියා උත්පාදනය සහ අපනයන ආදායම වැඩි කිරීම සඳහාත් කටයුතු සිදුවනු ඇත. LP ගෑස් යනු සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සිට අතිවිශාල කර්මාන්ත සඳහා ජවය සපයන අත්‍යාවශ්‍ය ඉන්ධනයකි.

නව නායකත්වය යටතේ ලිට්රෝ ගෑස් අඛණ්ඩ LP ගෑස් සැපයුමක් සහ සැපයුම් ජාලයේ ආරක්ෂිතභාවය සහතික කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. සේවාවේ ගුණාත්මකභාවය සඳහා වූ මෙම කැපවීම සියළු පාර්ශවකරුවන් අතර විශ්වාසය නැවතත් තහවුරු කර ඇති අතර, ස්ථාවරත්වය සහ විශ්වාසය පිලිබඳ නව බලාපොරොත්තු ඇති කර තිබේ.

මාබිම පරිශ්‍ර නවීකරණය කර ආරම්භ කිරීම, රටේ ජනතාව සඳහා විශ්වසනීය LP ගෑස් සැපයුම්ක් සහතික කරමින්, කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා ලිට්රෝ ගෑස්හි කැපවීම සංකේතවත් කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව