ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය නියෝජනය කරන ප්‍රධානතම ආයතනය වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (NPP) මෙවර මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් ගරු. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක්කර සිටී. එමෙන්ම සමන්ත විද්‍යාරත්න මහතා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ද සංගමයේ සුභ පැතුම් පිරිනැමීය. තවද වැවිලි කර්මාන්තය සංවර්ධනය කිරීම සහ වතු ප්‍රජාවන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට එක්ව වැඩ කිරීම සඳහා නව රජයට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය මෙහිදී අවධාරණය කළේය.
නව රජයට සුබ පැතුම් එක් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර මහතා පැවසුවේ “කලාපීය වැවිලි සමාගම්වලින් (RPCs) සමන්විත වැවිලි කර්මාන්තය දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දී තිබෙනවා. නව රජය විසින් වතු කම්කරුවන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් දීමට සහ වැවිලි කර්මාන්තයේ තිරසාර සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ විශේෂයෙන්ම වතු කම්කරුවන්ගේ අවශ්‍යතාවය, ඵලදායිතාව සහ නවීකරණය සම්බන්ධයෙන් තවමත් වතුකරයේ සැලකිය යුතු අභියෝග තිබෙන බවයි. තවද දිගුකාලීන ඵලදායිතාව සහ තිරසාර බව සහතික කිරීම සඳහා භෝග විවිධාංගීකරණය, තිරසාර කෘෂි වන වගා ප්‍රතිපත්ති සමඟින් නවෝත්පාදන, යාන්ත්‍රීකකරණය සහ ස්වයංක්‍රීයකරණය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අභියෝගවලට එක්ව මුහුණ දීමේ වැදගත්කම ද එම සංගමය අවධාරණය කළේය.
තවද නූතන තාක්ෂණය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ තේ, රබර් සහ කුළුබඩු වැනි ප්‍රධාන අපනයනවල ගෝලීය තරගකාරීත්වය වැඩි කිරීම සඳහා රජයේ දායකත්වය පිළිබඳව ද සංගමය මෙහිදී සුභවාදී අදහස් පළ කළේය. ඉක්මනින් වෙනස්වන ආර්ථික පසුබිමක වැවිලි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා මෙවැනි උත්සාහයන් ඉතා වැදගත් වන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, තිරසාරභාවය සහ සමාජයේ උන්නතිය යන ජාතික ඉලක්ක සමඟ තිරසාර හා දියුණු වැවිලි කර්මාන්තයකට දායක වන අභියෝග ජය ගැනීමටත් අවස්ථාවලින් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහාත් නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලංකා වැවිලිකරුවන්ගේ සංගමය කැපවී සිටී.