බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්දු ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ‘යොනෙක්ස් – සන්රයිස් බංග්ලාදේශ ජාත්‍යන්තර අභියෝගතා 2024‘ බැඩ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකු එක්වී සිටිති. ඊයේ (17) ආරම්භ වූ මේ තරගාවලිය 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනකු සහ ක්‍රීඩිකාවන් 5 දෙනකු කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් සඳහා සහභාගි වනු ඇත.
ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල පළමු පස්දෙනා අතර සිටින විරේන් නෙත්තසිංහ, දුමිඳු අබේවික්‍රම, ආශිංස හේරත්, සියත් සේනාරත්න, දිනුර රෂ්මික ප්‍රියශාන්, ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ඇතුළත් වන අතර, රෂ්මි මුදලිගේ, වරංගනා ජයවර්ධන, පංචාලි අධිකාරි, ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා කාන්තා කණ්ඩායම නියෝජනය කරති.
විරේන් නෙත්තසිංහ සහ දුමිඳු අබේවික්‍රම 32 දෙනාගේ වටයේ සිට පිරිමි ඒකල තරගවලට එක්වන අතර, ආශිංස හේරත් 64 දෙනාගේ වටයේ සිට තරග බිමට පිවිසෙනු ඇත. කාන්තා ඒකල තරග ඉසව්වට එක්වන රෂ්මි මුදලිගේ, වරංගනා ජයවර්ධන සහ පංචාලි අධිකාරි 32 දෙනාගේ වටයේ සිට තරග බිමට පිවිසීමට නියමිතය.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුගල 5ක තරග ඉසව් තුනකට ද සහභාගි වන අතර, දිනුර රෂ්මික ප්‍රියශාන් සහ සියත් සේනාරත්න සමඟ ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු පිරිමි යුගල තරග ඉසව්වටත්, වරංගනා ජයවර්ධන සහ රෂ්මි මුදලිගේ සමඟ ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා කාන්තා යුගල තරග ඉසව්වටත් සහභාගි වනු ඇත. තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරී මිශ්‍ර යුගල තරග ඉසව්වට සහභාගි වීමට නියමිතය.
රටවල් 24කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 228 දෙනකු දින පහක් පුරා තරග වදින මෙම තරගාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලන අනුමැතිය යටතේ බංග්ලාදේශ බැඩ්මින්ටන් සම්මේලනය විසින් සංවිධාන කරනු ලබයි.