ආසියානු බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් බහරේන් රාජ්‍යයේ මැනමා අගනුවර පැවැති බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගමාලාවේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට රනිත්මා ලියනගේ, ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා සමත්වූහ. එම තරගමාලාවේ කාන්තා විවෘත ඒකල තරග අංශයේ අවසන් වටයට එක්වූ රනිත්මා ලියනගේ ශ්‍රී ලංකාව දිනාගත් එකම රිදී පදක්කමට හිමිකම් කී අතර, කාන්තා විවෘත යුගල අවසන් පූර්ව වටයට එක්වූ ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ලෝකඩ පදක්කමට හිමිකම් කීහ.
දින 6ක් පුරා පැවැති බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගමාලාවේදී රනිත්මාට දැඩි අභියෝගයක් එල්ල වූ ඉන්දීය ක්‍රීඩිකා ප්රක්රිටි භාරත් කාන්තා ඒකල විවෘත තරගයේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ ලකුණු 21-13ක් සහ 21-17ක් ලෙස උණුසුම් තරගයකින් පසුවය.
රනිත්මා ලියනගේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ පිලිපීනයේ මිකේලා ජෝයි ද ගුස්මාන් තරග වට 2-1කින් පරාජය කරමිනි. එහි පළමු වටයේදී ලකුණු 21-11ක ජයක් ලැබූ රනිත්මා දෙවැනි වටයේදී ලකුණු 8-21කින් පරාජයට පත්වූවද, තියුණු තරගයකින් පසු ලකුණු 21-18කින් තීරණාත්මක තුන්වැනි වටය ජයගැනීමට සමත්වූවාය.
රනිත්මා ලියනගේ කාන්තා ඒකල විවෘත තරගයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී ඇය සමඟ තරගමාලාවට එක්වූ රෂ්මි මුදලිගේ අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූවාය.
ආරම්භයේ සිටම කැපී පෙනෙන දස්කම් පෑ ඉසුරි සහ සිතුමි විවෘත කාන්තා යුගල තරග අංශයේ අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත්වූවද ඉන්දියාවේ අනන්‍යා ප්‍රවීන් සහ ප්රේරනා ෂර් හමුවේ ලකුණු 21-14කින් සහ 21-12කින් පරාජයට පත්වූහ.
මේ අතර පිරිමි ඒකල විවෘත තරගයේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඉරානයේ අලි හයාටි හමුවේ පළමු වටය ලකුණු 21-14කින් පරාජයට පත්වූ ආශිංස හේරත් දෙවැනි වටය ලකුණු 21-17කින් ජයගැනීමට සමත්වුවද තුන්වැනි වටය ලකුණු 21-13කින් ආශිංස පරාජය කළ ඉරාන ක්‍රීඩකයා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.