පෞද්ගලික අංශයේ හෙදියන් සඳහා දැඩි සත්කාර සේවා පිළිබඳව පුහුණුව ලබා දෙන ලෙස APHNH ඉල්ලා සිටී

Image-6

 




 

ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) පෞද්ගලික අංශයේ හෙදියන් සඳහා පුහුණු වැඩසටහන් සහ දැඩි සත්කාර සේවා පිළිබඳ පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට හා පුළුල් කිරීමට සිය සංගමයේ ඇති කැපවීම පෙන්වා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන APHNH හි ලේකම් වෛද්‍ය සුනිල් රත්නප‍්‍රිය මහතා ‘‘රට තුළ නැවතත් කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යද්දී අපව ආරක්ෂා කිරීමට වෙහෙස මහන්සි නොබලා කටයුතු කරන හෙදියන්ට අප බොහෝ සෙයින් ස්තූතිවන්ත වනවා. විශේෂයෙන්ම මේ වන විට රටේ හෙදියන් හා වෛද්‍ය සහායක කාර්ය මණ්ඩලවල පවතින හිඟය සැලකීමේදී ඔවුන් මත ඇති පීඩනය අති විශාලයි. නුදුරු අනාගතයේදී වැඩි හෙදියන් සංඛ්‍යාවක් පුහුණු කිරීමෙන් හා මෙම අංශ්‍ය තවත් ශක්තිමත් කිරීමෙන් ඔවුන් මත පැටවී ඇති බර සැහැල්ලූ කිරීමට අපට හැකි වේවි.’’ යනුවෙන් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ජනගහනයට අනුව 2018 දී ශ්‍රී ලාංකිකයින් දහසකට ආසන්න වශයෙන් හෙදියන් දෙදෙනෙකු සිටි අතර පුද්ගලයින් දහසකට හෙදියන් 3.81ක් වන ලෝක ජනගහන සාමාන්‍ය හා සැසඳීමේදී එය බෙහෙවින් පහළ අගයක් ගනී (ලෝක සෞඛ්‍ය සංවිධානය, 2018). APHNH සඳහන් කරන්නේ හැකි ඉක්මනින් හෙද හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවල වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් මෙම හිඟය පියවා ගැනීමට උපකාරී වනු ඇති බවයි.

කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ සෞඛ්‍ය සේවාවල ඇති වී තිබෙන පීඩනය හේතුවෙන් දැඩි සත්කාර සේවා පිළිබඳ කුසලතාවලින් යුතු හෙදියන්ගේ වැදගත්කම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබේ. ‘‘අනාගත සෞඛ්‍ය සේවාව සඳහා දැක්මක්’’ යන මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාවට අනුව යමින් APHNH පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සඳහා දැඩි සත්කාර සේවා පිළිබඳ පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන ලෙස ඉල්ලා සිටියේය.

‘‘විශේෂයෙන්ම අප රටට දැඩි සත්කාර සේවා පිළිබඳ කුසලතාවලින් යුතු හෙදියන්ගේ දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. මෙම හෙදියන් රෝගීන් සඳහා ඍජු හා තනි පුද්ගල සාත්තු සේවාවක් සපයන අතර ඒ සඳහා පුළුල් විශේෂඥ හෙද පුහුණුවක් ද ඔවුන්ට අවශ්‍යයි. නමුත් එවැනි විධිමත් පුහුණු වැඩසටහන් තවමත් පෞද්ගලික අංශයේ හෙද කාර්ය මණ්ඩලයට ලබා දී නෑ. එබැවින් පෞද්ගලික අංශයේ හෙදියන් සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් හඳුන්වා දීම සඳහා APHNH මූලිකත්වය ගෙන කටයුතු කරන බව සඳහන් කළ යුතුයි.’’ යනුවෙන් වෛද්‍ය රත්නප‍්‍රිය මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ සඳහා APHNH හෙද හෙදියන් පුහුණු කිරීමේ ආයතනයක් පිහිටුවීම සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ ක්ෂේත‍්‍රයේ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටී. දැනට ලබා දී ඇති ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලා කිහිපය තුළින් දැඩි සත්කාර සේවා පිළිබඳ පුහුුණු පාඨාමාලාවල අවශ්‍යතාවය සපුරාගැනීමට ගැනීමට සංගමය සැලසුම් කරයි.

‘‘මෙම වසංගතයට එරෙහි සටනේදී අපගේ සෞඛ්‍ය සේවකයින් ලබා දෙන දායකත්වය පිළිබඳව අප බෙහෙවින් කෘතඥ වනවා. ඔවුන් මුහුණ දෙන අවදානම සුළුපටු එකක් නොවේ. ජාත්‍යන්තර හෙද කවුන්සලයට අනුව කොවිඞ්-19 වසංගතයට වඩාත්ම ගොදුරු වී ඇති සෞඛ්‍ය සේවක කණ්ඩායම වන්නේ හෙදියන්ය. ඒවගේම අපගේ පෞද්ගලික අංශයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමට හා ඔවුන්ට සහාය වීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව අප ඉදිරියටත් සොයා බලනවා.’’ යනුවෙන් වෛද්‍ය රත්නප‍්‍රිය මහතා සඳහන් කළේය.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව