පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී GoldCash Card සමගින් රන් ණය කලාවේ නව පෙරළියක්

WhatsApp Image 2024-10-02 at 12.13.38 PM (LBN)

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ‘GoldCash Card’ නමින් රන් ණය සේවාව සඳහා විශේෂ වූ කාඩ්පතක් හඳුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට 2024 ඔක්තෝබර් මස 01 දින සිට මෙම කාඩ්පත ලබාගැනීමට හැකි වනු ඇත. මෙය හඳුන්වා දී ඇත්තේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු, සුරක්ෂිත හා නම්‍යශීලී ලෙස රන් ණය පහසුකම් ලබාගැනීමට අවස්ථාව ලබා දීමේ අරමුණිනි.

“මේ නව GoldCash කාඩ්පත අපගේ ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන් සපුරාලන නව්‍ය මූල්‍ය විසඳුම් හඳුන්වා දීම සඳහා අප දක්වන කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන්. GoldCash යනු පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් තම මූල්‍ය කටයුතු වඩාත් හොඳින් කළමනාකරණය කරගනිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව නව අවස්ථා ග්‍රහණය කරගැනීමට ඉඩකඩ සලසා දෙන පහසු, කාර්යක්ෂම, නම්‍යශීලී හා සුරක්ෂිත විසඳුමක්. මේ ආකාරයට රන් ණය සහ මූල්‍ය පහසුකම් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් අපට වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමට දායක වීමටත් හැකියාව ලැබෙනවා.” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා පැවසී ය.

 



 

“GoldCash කාඩ්පත යථාර්ථයක් බවට පත්වීම මට ඉමහත් සතුටක්. එය ආරම්භ වූයේ, මාගේ සංකල්පයකට අනුව, නවෝත්පාදන අදහස් ඇගයීමේ සම්මාන වැඩසටහන සඳහා අපගේම කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් ඉදිරිපත් කළ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙසයි. මෙය ආයතනය තුළින්ම සේවාවන් සම්බන්ධ යෝජනා ඉදිරිපත් වීමේ ප්‍රවණතාව දිරිගැන්වීම සඳහා අප දරන උත්සාහයේ සාර්ථකත්වය මැනවින් නිරූපණය කරනවා. මේ ආකාරයට ආයතනය තුළින්ම නිර්මාණාත්මක නව්‍ය අදහස් හා යෝජනා ඉදිරිපත් වීම සඳහා දිගින් දිගටම කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන ආකල්ප දිරිගැන්විය යුතු බව අපගේ විශ්වාසයයි.” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පැවසී ය.

ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් වන අතරම GoldCash කාඩ්පත් මගින් කඩදාසි භාවිතය අවම වීම නිසා එය පරිසර හිතකාමී විසඳුමක් ලෙසද හැඳින්විය හැකි වේ. ණය සඳහා අයදුම් කිරීම සහ ඊට අදාළ මුදල් ගනුදෙනු ඩිජිටල්කරණය වීමත් සමග ගනුදෙනුකරුවන්ට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට තම කාඩ්පත සහ ජංගම යෙදුම (Mobile app) හරහා ණය අයදුම් කිරීම, ශේෂය පරීක්ෂා කිරීම සහ මුදල් ගෙවීම ආදිය සිදුකළ හැකි වේ. මේ නිසා ගනුදෙනුකරුවන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ශාඛා වෙත පැමිණීම අවශ්‍ය නොවන බැවින් ඔවුන්ගේ වටිනා කාලය ඉතිරි වන අතර, ගනුදෙනු කටයුතුවල කාර්යක්ෂමතාවද ඉහළ යයි.

GoldCash කාඩ්පතට ණය පහසුකම් විශේෂාංගයක්ද ඇතුළත් කර ඇති නිසා ගනුදෙනුකරුවන්ට තම මුදල් අවශ්‍යතා අනුව ණය ලබාගැනීම, ආපසු ගෙවීම සහ නැවත ණය ලබාගැනීම වඩාත් පහසුවෙන් සිදුකළ හැකි වේ. මෙය ඔවුන්ට තම ණය ගැනීම් සහ ණය සීමාවන් සම්බන්ධයෙන් පූර්ණ පාලනයක් හිමි වන සුවිශේෂී පියවරකි. තමන්ට පහසු ආකාරයකට ණය ආපසු ගෙවීම සඳහා නම්‍යශීලී පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දී තිබීමද ගනුදෙනුකරුවන්ට අමතර වාසියක් වනු ඇත. එමෙන්ම පොලී මුදල් නිසි කලට ගෙවා ඇත්නම්, ණය පහසුකම ස්වයංක්‍රීයව අලුත් වීමේ ක්‍රමවේදයක්ද මීට ඇතුළත් වී ඇති නිසා, ණය ඉල්ලුම් කිරීම නැවත නැවත සිදුකිරීමේ අවශ්‍යතාවද මතු නොවේ.

GoldCash කාඩ්පත හඳුන්වා දීමේදී ප්‍රමුඛතම අවධානය යොමු වූ සාධකයක් නම් ආරක්ෂාවයි. මෙම කාඩ්පත හේතුවෙන් තවදුරටත් මුදල් රැගෙන එහා මෙහා යාම අවශ්‍ය නොවන නිසා පාරිභෝගිකයන් තම මුදල් සොරාගනු ලැබීමේ හෝ අස්ථානගත වීමේ අවදානම පිළිබඳව බිය විය යුතු නොවේ. එමෙන්ම ඔවුන්ට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මාර්ගගත බැංකුකරණ පහසුකම හරහා තම වියදම් සහ ණය ගෙවීම් සම්බන්ධ තොරතුරු පිළිබඳව පරීක්ෂාවෙන් පසුවිය හැකි නිසා ඔවුන්ට වඩාත් පහසුවෙන් සහ මනා පාලනයකින් යුතුව තම මූල්‍ය කටයුතු කළමනාකරණය කරගත හැකි වේ. කුඩා පරිමාණ ව්‍යාපාර හිමියන්, ගෘහණියන්, විශ්‍රාමිකයන් සහ විධිමත් නොවන ආදායම් සහිත පුද්ගලයන් වැනි කාණ්ඩවලට අයත් ගනුදෙනුකරුවන්ට මෙම සේවාව ඉමහත් පහසුවක් වනු ඇත. මෙමගින් ඔවුන්ට වඩාත් පහසුවෙන් තම ගිණුමට නව රන්භාණ්ඩ එකතු කරමින් තම ණය සීමාවන් ඉහළ නංවාගත හැකි වේ.

පුද්ගලයන්ටත්, ව්‍යාපාරවලටත් වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව හිමි වන නව්‍ය මූල්‍යමය විසඳුම් හඳුන්වා දීම සඳහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සෑම විටම උත්සාහ කරයි. GoldCash කාඩ්පත හඳුන්වා දීම යනු මෙම උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරකි. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ විවිධාකාර පාරිභෝගික කාණ්ඩවලට ගැළපෙන මූල්‍ය විසඳුම් පිරිනමමින්, කාගේත් විශ්වාසය දිනූ මූල්‍ය සේවා සම්පාදකයෙකු ලෙස තමන් සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අරමුණ වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව