ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගම COVID-19 මර්දන සටන ශක්තිමත් කරමින් ආසියාවේ ප්‍රථම ජංගම දැඩි සත්කාර ඒකකය පරිත්‍යාග කරයි

ICU Project 2

 




2021 සැප්තැම්බර් 14

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික විසඳුම් සම්බන්ධ පුරෝගාමියෙකු වන ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගම, සියලු පහසුකම් වලින් සමන්විත, ඇඳන් 3 කින් යුත් ජංගම දැඩි සත්කාර ඒකකයක් පේරාදෙණිය රෝහලට පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 මර්දනය කිරීමේ ජාතික සටන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ. මෙම ජංගම දැඩි සත්කාර ඒකකය 2021 සැප්තැම්බර් 14 වන දින ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය රෝහල වෙත භාරදෙන ලද අතර, එම රෝහල විසින් වහාම එම ඒකකය තම ප්‍රතිකාර කටයුතු සඳහා භාවිතා කිරීම ආරම්භ කරන ලදි.

දැඩි සත්කාර සේවාවන් සම්බන්ධයෙන් තමන් සතු විශේෂඥ දැනුම ඔස්සේ, මේ වනවිට දිවයින පුරා රෝහල් වල දැඩි සත්කාර පහසුකම් ප්‍රමාණවත් නොවීමේ ගැටලුව විසඳීම සඳහා ප්‍රීමියම්  ඉන්ටනැෂනල් සමාගම උත්සාහ කරමින් සිටී. COVID-19 හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නවීන උපකරණ හඳුන්වා දීම මෙම උත්සාහයේ එක් අංගයකි. පේරාදෙණිය රෝහලට පරිත්‍යාග කළ දැඩි සත්කාර ඒකකය ‘plug-and-play’ වර්ගයේ එකක් නිසා,  එය සවි කිරීමත් භාවිතයට ගැනීමත් ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් සිදුකළ හැකි වන අතර, එය රෝහල් කාර්ය මණ්ඩලයටත් රෝගීන්ටත් ඉමහත් පහසුවක් වනු නොඅනුමාන ය.

මෙම නව නිපැයුම සහ පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුජීව සුමනසේන මහතා මෙසේ පැවසී ය. “මේ ආකාරයට අති-නවීන ජංගම දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරමින්, COVID-19 රෝගීන්ගේ ජීවිත බේරාගැනීමේ ජාතික මෙහෙවරට දායක වීමට හැකි වීම අපට මහත් සතුටක්. ආසියානු කලාපයේ මෙවැනි ඒකකයක් භාවිතයට ගැනෙන ප්‍රථම අවස්ථාව මෙයයි. දැනට රටේ පවතින සෞඛ්‍ය අර්බුදය අවසන් කිරීමට දායක වීමට අප දක්වන උනන්දුව නිසා, අප නිෂ්පාදනය කළ මෙම ප්‍රථම ජංගම දැඩි සත්කාර ඒකකය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ භාවිතය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට අප කටයුතු කළා. ඉක්මනින් සවිකර භාවිතයට ගත හැකි වීම සහ ඉහළම තාක්ෂණයෙන් සමන්විත වීම වැනි සාධක නිසා මෙම දැඩි සත්කාර ඒකකය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රතිලාභ රාශියක් අත්වේවි කියා අප සිතනවා. එමෙන්ම ලොව පුරාම දැඩි සත්කාර පහසුකම් වල උඝ්‍ර හිඟයක් පවතින තත්ත්වයක් තුළ, මෙවැනි ඒකක භාවිතයට ගැනීම කෙතරම් වැදගත්ද යන්න මෙමගින් කොයි කාටත් පැහැදිලි වේවි. දේශීය සංකල්පයක් පදනම් කරගනිමින් දේශීයව නිපදවූවක් වන මෙම දැඩි සත්කාර ඒකකය, ශ්‍රී ලංකාව සතු විද්‍යා හා තාක්ෂණික හැකියාවන්ට ඉතා හොඳ සාක්ෂියක්. උසස් තත්ත්වයේ විද්‍යා හා තාක්ෂණික හැකියාවන් නොතිබුණා නම් මෙවැනි නිර්මාණයක් කිරීමට කිසිසේත්ම හැකියාව ලැබෙන්නේ නැහැ.”

ප්‍රීමියම් ඉන්ටනැෂනල් යනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික හා ඉංජිනේරු අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කරගත්, ඒකාබද්ධ තාක්ෂණික විසඳුම් සම්පාදක ආයතනයකි. සාම්ප්‍රදායික නිෂ්පාදන-වෙළඳපොළ සංකල්ප වලින් ඔබ්බට යමින් ක්ෂේත්‍රයේ අවශ්‍යතා වඩාත් පුළුල් මට්ටමින් සපුරාලීමේ අරමුණින් යුතුව එය ආරම්භ කරන ලද. ශ්‍රී ලංකාව මුහුණ දෙන සෞඛ්‍ය හා සමාජ-ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රීමියම්  ඉන්ටනැෂනල් සමාගම දේශීය හා ජාත්‍යන්තර සමාගම් රැසක් සමග අත්වැල් බැඳගෙන කටයුතු කරයි. උදාහරණයක් ලෙස, මෙම ජංගම දැඩි සත්කාර ඒකකයේ බහාලුම නිෂ්පාදනය කිරීම සඳහා එම සමාගම Pership සමග එක්ව කටයුතු කළේ ය. තම ඉතිහාසය පුරාම ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගම, දැඩි සත්කාර අංශය සම්බන්ධ විශේෂ අවධානයකින් යුතුව, සෞඛ්‍ය සේවාවේ තාක්ෂණික යටිතල පහසුකම් නිර්මාණය හා වැඩිදියුණු කිරීම පිළිබඳව දැඩි උනන්දුවක් දක්වා තිබේ. දැනට ශ්‍රී ලංකාවේ දැඩි සත්කාර ඒකක තුළ භාවිතා වන ICU වෙන්ටිලේටර් යන්ත්‍ර වලින් 70% කට වැඩි ප්‍රමාණයක් සපයා ඇත්තේ සහ නඩත්තු කරනු ලබන්නේ ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගම විසිනි. ඉදිරියටත් සෞඛ්‍ය සේවයේ බරපතළ අවශ්‍යතා සපුරාලන නවීන විසඳුම් හඳුන්වා දෙමින්, සියලුම පුරවැසියන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම තහවුරු කිරීම ප්‍රීමියම්   ඉන්ටනැෂනල් සමාගමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

 

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව