දේශබන්දු තිලක් ද සිල්වා මහතා ඕෆන්කෙයාර් (orphanCare) භාරකාර මණ්ඩලයට

amana

 




 

 

සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දේශබන්දු තිලක් ද සිල්වා මහතා පසුගියදා ඕෆන්කෙයාර්  පදනමේ ස්වාධීන භාරකාර මණ්ඩලයට එක්විය. ස්වාධීන භාර අරමුදලක් ලෙස ස්ථාපිත කර කළමනාකරණය කරනු ලබන ඕෆන්කෙයාර් වැඩසටහනේ ඉලක්කය වන්නේ, මෙරට බරපතළ ගැටලුවක් වී තිබෙන, එහෙත් නිසි අවධානයක් යොමු වී නොමැති, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම සපුරාලීමට අත්වැලක් වීම ය. මෙම දරුවන් වයස අවුරුදු 18 පිරී ළමා නිවාස වලින් නික්ම ගිය පසු ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ඕෆන්කෙයාර්  වැඩසටහන කටයුතු කරයි. ඕෆන්කෙයාර් වැඩසටහනට අදාළ සියලු ක්‍රියාකාරකම් හා මෙහෙයුම් කටයුතු අමානා බැංකුවේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ සිදුවේ.

ව්‍යාපාරික ලෝකය තුළ මෙන්ම මානව හිතවාදී කටයුතු සම්බන්ධයෙන්ද විශාල කීර්තියක් දිනා සිටින තිලක් ද සොයිසා මහතා, ශ්‍රී ලංකාවේ නොයෙක් දුෂ්කරතා වලින් පීඩා විඳින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අත්වැලක් වන ප්‍රමුඛතම රාජ්‍ය නොවන සංවිධානයක් වන HelpAge හි සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. තවද ඒ මහතා HelpAge සංවිධානයේ ගෝලීය තානාපතිවරයා ලෙසද කටයුතු කරන අතර, මීට පෙර HelpAge International (එක්සත් රාජධානිය) හි සභාපති වරයා ලෙසද කටයුතු කර ඇත. මේ ආකාරයට විවිධාකාර වූ මානව හිතවාදී හා ප්‍රජා සත්කාර වැඩසටහන් තුළින් රටට කරන ලද සේවය අගයමින්, ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමන් විසින් තිලක් ද සොයිසා මහතා වෙත දේශබන්දු ගෞරව නාමය පිරිනැමී ය. එමෙන්ම ඒ මහතා ජපන් අධිරාජ්‍යයා විසින් පිරිනමනු ලබන “The Order of the Rising Sun – Gold Rays with Neck Ribbon” ගෞරව සම්මානයද හිමිකරගෙන තිබේ. මීට පෙර ඒ මහතා 2017 වසරේදී LMD යාවජීව සම්මානයෙන් (Lifetime Achievers Award) ද පිදුම් ලැබී ය.

තිලක් ද සොයිසා මහතා දැනට Carsons Cumberbatch PLC, Associated CEAT (Pvt) Ltd, Amaya Hotels and Resorts USA (Radisson), Jetwing Zinc Journey Lanka (Pvt) Ltd, Trinity Steel (Pvt) Ltd, සහ CG Corp Global Sri Lanka යන සමාගම් වල සහ සසකාවා අනුස්මරණ ශ්‍රී ලංකා ජපන් සංස්කෘතික මධ්‍යස්ථාන භාරයේ සභාපති ලෙස කටයුතු කරයි. AMW සමාගමේ බහුතර කොටස් හිමි ශ්‍රී ලංකාවේ Al-Futtaim සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් වල උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරන ඒ මහතා එහි අධීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාද වේ. CEAT Kelani Holdings (Pvt) Ltd, සහ Orient Insurance Ltd. යන සමාගම් වල උප සභාපති ලෙස කටයුතු කරන තිලක් ද සොයිසා මහතා Tal Lanka Hotels PLC (Taj), Tal Hotels and Resorts Ltd, Nawaloka Hospitals PLC, Associated Electrical Corporation Ltd, INOAC Polymer Lanka (Pvt) Ltd, Cinnovation INC, සහ Varun Beverages Lanka (Pvt) Ltd (Pepsi) වැනි ලැයිස්තුගත හා පෞද්ගලික සමාගම් රැසක අධ්‍යක්ෂ මණ්ඩල වලද සේවය කරයි. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන තිලක් ද සොයිසා මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. 2003 වසරේ සිට 2009 වසර දක්වා ඒ මහතා ශ්‍රී ලංකා මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේ ය.

ඕෆන්කෙයාර් භාරකාර මණ්ඩලයට එක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් තිලක් ද සොයිසා මහතා මෙසේ පැවසී ය. “පසුගිය දශක දෙකක කාලය තුළ Helpage Sri Lanka හි සභාපති ලෙස කටයුතු කිරීම සහ එක්සත් රාජධානියේ HelpAge International හි සභාපති ලෙස වසර 2 ක කාලයක් කටයුතු කිරීම ඔස්සේ, කවදත් මගේ මූලික අවධානය යොමුවී තිබුණේ ශ්‍රී ලංකාවේ විවිධ දුෂ්කරතා වලින් පීඩා විඳින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමටයි. මින් ඉදිරියට, ඕෆන්කෙයාර්  භාරය සමග එක්වී, අපේ රටේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට පත්වී සිටින, දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට ආදරය සහ රැකවරණය ලබාදීමේ ජාතික මෙහෙවරට උරදීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා.”

තිලක් ද සොයිසා මහතා ඕෆන්කෙයාර්  භාරකාර මණ්ඩලයට එක්වීම සම්බන්ධයෙන් ඕෆන්කෙයාර්  භාරයේ සභාපති රුස්ලි හුසේන් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “තිලක් ද සොයිසා මහතා වැනි කෙනෙකු අපගේ මෙහෙවරට අත්වැලක් වීම සඳහා අප සමග එක්වීම අපට ගෞරවයක්. ලොව පුරා ප්‍රජා සත්කාරයන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඔහු සතු අත්දැකීම් සම්භාරය සමගින් අපට ඕෆන්කෙයාර්  මෙහෙවර තව තවත් පුළුල් කරමින්, රැකවරණය අහිමි දරුවන්ට වඩාත් සවිමත් අත්වැලක් වීමට හැකිවේවි කියා මා සිතනවා.”

තිලක් ද සොයිසා මහතාට අමතරව ඕෆන්කෙයාර්  භාරකාර මණ්ඩලය, සභාපති රුස්ලි හුසේන් මහතා (ශ්‍රී ලංකා රොටරැක්ට් ව්‍යාපාරයේ නිර්මාතෘ), ඔස්මාන් කාසිම් මහතා (අමානා බැංකුවේ නිර්මාතෘ-හිටපු සභාපති),  කේ. ආර්. රවීන්ද්‍රන් මහතා (ඇමරිකා එක්සත් ජනපදයේ රොටරි පදනමේ භාරකාර මණ්ඩලයේ සභාපති සහ ජාත්‍යන්තර රොටරි සමාජයේ හිටපු සභාපති), අරමුදලේ භාණ්ඩාගාරික රොහාන් තුඩාවේ මහතා (Tudawe Brothers හි සභාපති), ශරාඩ් අමලින් මහතා (MAS Holdings සමාගමේ සම නිර්මාතෘ), තයීබ් අක්බරලි මහතා (අක්බාර් බ්‍රදර්ස් හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ), හර්ෂ අමරසේකර මහතා (ජනාධිපති නීතීඥ සහ CIC Holdings හි සභාපති), ජස්රි මැග්ඩන් මහතා (AAT හි හිටපු සභාපති) සහ මොහොමඩ් අස්මීර් මහතා (අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී) යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

පවතින අභියෝගකාරී තත්ත්වයන් හමුවේ පවා, මේ දක්වා අනාථ නිවාස 80 කට අධික සංඛ්‍යාවක වෙසෙන දරුවන් 3,000 කට අධික පිරිසකට සෙත සලසමින්, අඛණ්ඩව කාර්තුවකට වරක් බැගින් වාර 7 කදී ප්‍රතිලාභී ගිණුම් වලට මුදල් බැර කිරීමට අමානා බැංකුව කටයුතු කර ඇත. මේ වනවිට ඕෆන්කෙයාර්  වැඩසටහන දේශීය හා ජාත්‍යන්තර සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Global Banking  & Finance සම්මාන උළෙලේදී අමානා බැංකුව වෙත වසරේ විශිෂ්ටතම ආයතනික ප්‍රජා සත්කාර බැංකුව ලෙස සම්මාන හිමිවීම, SLIBFI සම්මාන උළෙලේදී විශිෂ්ටතම සමාජ අභිවෘද්ධි සම්මානය හිමිවීම, දකුණු ආසියාව පදනම් කරගත් IFFSA සම්මාන උළෙලේදී විශිෂ්ටතම ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය සඳහා සම්මාන හිමිවීම සහ IRB සම්මාන උළෙලේදී වසරේ සමාජයීය වශයෙන් වගකීම් සහගත බැංකුව ලෙස සම්මාන හිමිවීම, ඕෆන්කෙයාර්  ව්‍යාපෘතියේ සාර්ථකත්වයට පැහැදිලි සාක්ෂි ලෙස පෙන්වා දිය හැකි වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව