ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල විවෘත ශූරතාව දිනා ගැනීමට ඉන්දුනීසියානු ජාතික ඕඩන් ලෙෆිසන් මේනකේ සමත් වූ අතර, එහි කාන්තා ශූරතාව රනිත්මා ලියනගේ දිනා ගත්තාය. ගාල්ල, දඩැල්ලේ දිස්ත්‍රික් බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්වූ මේ තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තිළිණ රාජකරුණා ලකුණු 21-12ක් සහ 21-11ක් ලෙස පරාජය කිරීමට ඕඩන් ලෙෆිසන් සමත් වූ අතර, කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-6ක් සහ 21-9ක් ලෙස වරංගනා ජයවර්ධන පරාජය කිරීමට රනිත්මා ලියනගේ සමත් වූවාය.
ආශිංස හේරත් සහ ඕඩන් ලෙෆිසන් ලකුණු 21-19ක් සහ 22-20ක් ලෙස පරාජය කරමින් පිරිමි යුගල ශූරතාව දිනා ගැනීමට මධුක දුලාංජන සහ ළහිරු මධුෂාන් වීරසිංහ සමත් වූ අතර, කාන්තා යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 13-21ක්, 21-12ක් සහ 21-16ක් ලෙස රෂ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන පරාජය කළ අනුරංගි හංසමාලි මාස්කෝරාල සහ විදාරා සුහස්නි විදානගේ විසිනි. ලකුණු 21-16ක්, 14-21ක් සහ 21-17ක් ලෙස රනිත්මා ලියනගේ සහ ඇලන් දර්මසාපුට්ර මේනකේ පරාජය කළ ඕඩන් ලෙෆිසන් මේනකේ සහ රේණු චන්ද්‍රිකා මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීහ.
අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 25-23ක්, 19-21ක් සහ 21-13ක් ලෙස තිළිණ රාජකරුණා පරාජය කළ ශෙනුක් සමරරත්න විසිනි. විවෘත කාන්තා ඒකල ශූරතාව දිනූ රනිත්මා ලියනගේ අවුරුදු 19න් පහළ බාලිකා ඒකල ශූරතාව දිනා ගැනීමට ද සමත් වූයේ අවසන් තරගයේදී සිතුකි ඕනදී අබේගුණවර්ධන ලකුණු 21-6ක් සහ 21-11ක් ලෙස පරාජය කරමිනි.
විවෘත, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අංශයෙන් තරග පැවැති දකුණු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අනුග්රාහකයන් ලෙස Mcfoil, Mobil, GAC, Li Ning සහ 3M කටයුතු කළේය.