කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සංවිධානය කරන ‘WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2024’ සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ

4A8A5134 (LBN)

(2024 සැප්තැම්බර්, කොළඹ): කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce – WCIC) වාර්ෂිකව සංවිධානය කරන ප්‍රධානතම වැඩසටහන් අතරින් එකක් වන WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ 2024 අදියර පසුගියදා නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ සහ SAARC කලාපයේ විශිෂ්ටතම ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්වනු ඇත.

 



 

“පසුගිය වසර කිහිපය තුළ පැමිණි අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දී ජයගත් කාන්තාවන්ට, තම සාර්ථකත්වයේ කථාව සමගින් 2024 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන සඳහා ඉදිරිපත් වන මෙන් අප ආරාධනා කර සිටිනවා. මෙම සම්මාන උළෙල 2025 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි. තම ව්‍යාපාර කටයුතු වර්ධනය කරගනිමින් ආර්ථිකයේ දියුණුවට දායක වූ විශිෂ්ට ව්‍යවසායිකාවන් මෙහිදී ඇගයීමට ලක්වේවි. මෙය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික ව්‍යවසයිකාවන් ඉලක්ක කරගත් වැඩසටහනක් වුවත් විශේෂ කාණ්ඩයක් යටතේ SAARC කලාපයේ විශිෂ්ටතම ව්‍යවසායිකාවන්ටද මෙයට ඉදිරිපත් වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මෙය පසුගිය කාලයේදී ‘කාන්තා ව්‍යවසායකත්ව සම්මාන’ නමින් අප පැවැත්වූ, වසරින් වසර වැඩි වැඩියෙන් ජනප්‍රිය වූ සම්මාන උළෙල තවදුරටත් වැඩිදියුණු කර පැවැත්වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. නව තේමාව යටතේ මෙම සම්මාන උළෙල පැවැත්වෙන තුන්වැනි අවස්ථාව මෙයයි. මෙමගින් අප ඉලක්ක කරන පිරිසට ඉතා යහපත් බලපෑමක් ඇති වී තිබෙන බව අපට පැහැදිලිව පෙනෙනවා. තම ව්‍යාපාරවලට ක්‍රමෝපායික දැක්මක් තිබිය යුතු බවත්, ශක්තිමත් පාලන සහ මූල්‍ය විධිවිධාන පැවතිය යුතු බවත් අයදුම්කාරියන් දැන් හොඳින් දන්නවා.” කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනිය වන අනෝජි ද සිල්වා මහත්මිය පැවසුවා ය.

“රට පුරා විසිරී සිටින ව්‍යවසායිකාවන් ඇගයීම සඳහා මෙවැනි ජාතික තලයේ වැඩසටහනක් පැවැත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය මේ වනවිට මෙරට ව්‍යවසායිකාවන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබෙන නිසා සම්මාන සඳහා ඉදිරිපත් වීමට ඔවුන් ඉමහත් උනන්දුවකින් යුතුව බලා සිටිනවා. ආරම්භක, ක්ෂුද්‍ර, සුළු, මධ්‍යම හා මහා පරිමාණ යන ව්‍යාපාර කාණ්ඩ යටතේ මෙම සම්මාන සඳහා අයදුම් කිරීමට පුළුවන්. මෙම කාණ්ඩ තීරණය වන්නේ 2023/2024 මූල්‍ය වර්ෂයේ ආදායම් මට්ටම් අනුවයි. සෑම කාණ්ඩයකම ජයග්‍රාහිකාවන්ට රන්, රිදී සහ ලෝකඩ සම්මාන හිමි වේවි.” සම්මාන උළෙලේ සංවිධායක කමිටුව වෙනුවෙන් එහි සම-සභාපතිවරියන් වන නිලානි සෙනෙවිරත්න සහ තුසිතා කුමාරකුලසිංහම් යන මහත්මීහු පැවසූහ.

මෙය ජාතික මට්ටමේ සම්මාන උළෙලක් බැවින් පෙර වසරවලදී මෙන්ම මෙවරද මෙරට පළාත් නවයෙහිම ව්‍යවසයිකාවන්ට මෙම සම්මාන උළෙලට අයදුම් කළ හැකි වේ. සෑම පළාතකින්ම තෝරාගනු ලබන එක් ව්‍යවසායිකාවකට එම පළාතේ විශිෂ්ටතම ව්‍යවසායිකාව සම්මානය හිමි වනු ඇත.

Young Woman Entrepreneur, Outstanding Start-Up, The Woman of Courage, The Most Outstanding Export Oriented Entrepreneur (Product and Services), The Best of the SAARC Region, Digital Entrepreneur, Most Innovative Entrepreneur සහ The Social Entrepreneur for 2024 යන කාණ්ඩ යටතේ සම්මාන උළෙලේ විශේෂ සම්මාන පිරිනැමේ. සම්මාන උළෙලේ අවසාන අංගය වශයෙන්, එහි ප්‍රධානතම සම්මානය වන ‘2024 වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව’ සම්මානය පිරිනැමෙනු ඇත.

සම්මාන වැඩසටහනේ අයදුම්පත් www.wcicsl.lk වෙතින් බාගත කළ හැකි අතර, අවශ්‍ය නම් WCIC කාර්යාලයෙන්ද ලබාගත හැක (ඊමේල් මගින්).  එම අයදුම්පත් නිසි පරිදි පුරවා, තමන් ඉදිරිපත් කරන කරුණු සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂිද සහිතව, 2024 ඔක්තෝබර් 31 දිනට පෙර ඉදිරිපත් කළ යුතු ය.

WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙලේ ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස කටයුතු කරනුයේ AIA Insurance සමාගමයි. එහි දියමන්ති අනුග්‍රාහක සහ බැංකුකරණ සහකරු ලෙස DFCC ආලෝකා කටයුතු කරයි. USAID CATALYZE Private Sector Development (PSD) හරහා USAID ආයතනයද මෙම වැඩසටහනට දායක වී ඇත. සම්මාන උළෙලේ රන් අනුග්‍රාහකයන් ලෙස McLarens සමූහ ව්‍යාපාරය සහ Sunquick Lanka පුද්ගලික සමාගම කටයුතු කරන අතර, රිදී අනුග්‍රාහක ලෙස Hayleys සමූහයද, ලෝකඩ අනුග්‍රාහක ලෙස Impra Teas සමාගමද කටයුතු කරයි.  නිර්මාණශීලීත්ව හවුල්කරු ලෙස Triad කටයුතු කරන අතර, දැනුම් හවුල්කරු ලෙස කටයුතු කරනුයේ Ernst & Young ය. ඉදිරි සති කිහිපයේදී තවත් පාර්ශ්ව කිහිපයක් මෙම සම්මාන උළෙල සමග අත්වැල් බැඳගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය යනු ව්‍යවසයිකාවන්ට සහ වෘත්තීය ව්‍යාපාරික කාන්තාවන්ට අත්වැලක් වීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලයයි. තමන්ට සමාජයේ යහපත වෙනුවෙන් දායක විය හැකි යැයි විශ්වාස කරන සහ, වාණිජ මණ්ඩලය මගින් පිරිනමනු ලබන පහසුකම්වලින් ප්‍රයෝජන ගැනීමේ හැකියාව සහිත කාන්තාවන්ට එහි සාමාජිකත්වය ලබාගත හැකි වේ. WCIC ප්‍රතිභාභිෂේක සම්මාන උළෙල යනු කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් පවත්වනු ලබන ප්‍රමුඛතම සම්මාන උළෙල වන අතර, එහි අරමුණ වන්නේ අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් ආර්ථිකයේ වර්ධනය සඳහා දායක වන ව්‍යවසායිකාවන් සහ  වෘත්තීය කාන්තාවන් ඇගයීමට ලක්කිරීම ය.

වැඩිදුර තොරතුරු සඳහා 076-6848080 අමතන්න.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව