
ලාභය, ආදායම සහ මුදල් ශේෂය සඳහා නව වාර්තා තබමින් එමිරේට්ස් සමූහය සිය 2024-25 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. මෙම කැපී පෙනෙන කාර්යසාධනය මගින් 2024-25 වාර්තාකරණ කාල පරාසය තුළ තම ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල වාර්තා කරමින් එමිරේට්ස් සමූහය ගෝලීය වශයෙන් වඩාත්ම ලාභ උපයන ගුවන් සේවා සමූහය බවට පත්වී ඇත.
2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 22.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.2) ක ලාභයක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට වඩා 18% ක වැඩිවීමකි. සමූහයේ ඩිරාම් බිලියන 145.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 39.6) ක වාර්තාගත ආදායම, පසුගිය වසරේ ප්‍රතිඵලවලට වඩා 6%ක වැඩි වීමක් වන අතර මුදල් වත්කම්වල වටිනාකම ඩිරාම් බිලියන 53.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 14.6) වූ අතර එය පසුගිය වසරට වඩා 13%ක වැඩි වීමකි.
ලොව වඩාත් ම ලාභ උපයන ගුවන් සේවය ලෙස එමිරේට්ස් ගුවන් සේවය සිය ස්ථානය දිනා ගෙන ඇත්තේ බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 21.2 (ඇමරිකානු ඩොලර් බිලියන 5.8) ක වාර්තාගත ලාභයක් අත්කරගනිමිනි. එය පසුගිය වසරට වඩා 20% ක වර්ධනයකි. මූල්‍ය වසර සඳහා සමස්ත ආදායම ඩිරාම් බිලියන 127.9 (ඇමරිකානු ඩොලර් බිලියන 34.9) ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6%ක වැඩි වීමකි. මේ අතර ගුවන් සමාගමේ ඩිරාම් බිලියන 49.7 (ඇමරිකානු ඩොලර් බිලියන 13.5) ක මුදල් වත්කම්, 2024 මාර්තු 31 දිනට වාර්තා වූ අගයට සාපේක්ෂව 16% කින් ඉහළ ගොස් ඇත.
එමිරේට්ස් ගුවන් සේවයේ සහ සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අතිගරු ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් තුමා මෙසේ පැවසීය: “ඩුබායි විසින් එමිරේට්ස් හා ‘dnata’ වැනි අති සාර්ථක ගෝලීය ගුවන් සේවා ආයතන බිහි කර තිබීම අහම්බයක් නොවේ. දූරදර්ශී නායකයින්, උපායමාර්ගික සැලසුම්කරණය, සම්බන්ධීකරණය වූ මෙහෙයුම් සහ අපගේ ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ ඩුබායි හි සියලුම ජනතාවගේ ශක්තිමත් සහයෝගයට ස්තූතිවන්නට ඩුබායි ගුවන් සේවා අංශය ගෝලීය වේදිකාවේ බලගතු බලවේගයක් බවට පත්වී ඇත.”
2024-25 වසර තුළ සමූහය විසින් සිය වර්ධන සැලසුම් වෙනුවෙන් නව ගුවන් යානා, පහසුකම්, උපකරණ, ආයතන සහ නවතම තාක්ෂණයන් සඳහා සම්පූර්ණයෙන් ඩිරාම් බිලියන 14.0 (ඇමරිකානු ඩොලර් බිලියන 3.8) ක් ආයෝජනය කර ඇත.
2025 මාර්තු මාසය අවසන් වන විට ගුවන් සමාගමේ මුළු ගුවන් යානා සංඛ්‍යාව 260ක් වූ අතර ගුවන් යානා එකතුවේ සාමාන්‍ය වයස අවුරුදු 10.7 කි.
වෙළඳපල පුරා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාරයක් ලෙස උපායමාර්ගිකව ධාරිතාව යෙදවීම තුලින් මෙම මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ මුළු ආදායම ඩිරාම් බිලියන 127.9 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 34.9) ක් දක්වා, 6% කින් ඉහළ ගියේය. එමිරේට්ස් ගුවන් සේවය 2024-25 වසර තුළ දී ඩිරාම් බිලියන 40.8 (ඇමරිකානු ඩොලර් බිලියන 11.1) ක වාර්තාගත මෙහෙයුම් මුදල් ප්‍රවාහයක් වාර්තා කළ අතර එමගින් එහි ශක්තිමත් වාණිජ කාර්යසාධනය පිළිබිඹු කරයි.
විවිධ පාරිභෝගික අංශ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට ඇති කැපවීම, එහි ගෝලීය ජාලයේ ශක්තිය සහ එහි නිෂ්පාදන සඳහා ඇති දැඩි පාරිභෝගික කැමැත්ත හේතුවෙන් එමිරේට්ස් විසින් ඩිරාම් බිලියන 19.1 (ඇමරිකානු ඩොලර් බිලියන 5.2) ක නව වාර්තාගත ශුද්ධ ලාභයක් අත්කරගත් අතර පසුගිය වසරේ ශුද්ධ ලාභය ඩිරාම් බිලියන 17.2 (ඇමරිකානු ඩොලර් බිලියන 4.7) ක් විය. මෙය ගුවන් සමාගමේ ඉතිහාසයේ මෙන් ම 2024-25 වාර්තාකරණ වර්ෂය සඳහා ගුවන් සේවා කර්මාන්තයේ හොඳම කාර්යසාධනයයි.
2024-25 වර්ෂයේ දී එමිරේට්ස් විසින් මගීන් මිලියන 53.7ක් (එනම් 3% කින් ඉහල ගොස් ඇති අගයක්) ප්‍රවාහනය කර ඇති අතර ආසන ධාරිතාව ද 4% කින් ඉහළ ගොස් ඇත.
එමිරේට්ස් ස්කයිකාර්ගෝ සමාගම කැපී පෙනෙන වසරක් වාර්තා කළ අතර ලොව පුරා භාණ්ඩ ටොන් මිලියන 2.3 ක් ප්‍රවාහනය කර ඇත. එය පසුගිය වසරට වඩා 7% ක ඉහළ අගයකි. ගෝලීය සැපයුම් ක්ෂේත්‍රයේ පවතින අභියෝගවලට දක්ෂ ලෙස මුහුණ දෙමින් භාණ්ඩ ප්‍රවාහන අංශය ඩිරාම් බිලියන 16.1 (ඇමරිකානු ඩොලර් බිලියන 4.4) ක ශක්තිමත් ආදායමක් වාර්තා කළ අතර එය එමිරේට්ස් හි මුළු අදායමට 13% ක දායකත්වයක් ලබා දී ඇත.