ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා සදාහරිත වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පත්වෙයි

Dr

මෙරට හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන, සදාහරිත වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා පසුගියදා පත්කරනු ලැබීය.

“සදාහරිත සමූහයේ විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා පිළිගැනීමට ලැබීම මට විශාල සතුටක්. ඔහු සතු පුළුල් අත්දැකීම් පරාසයත්, කුසලතා හා අභිලාෂ සමඟින් නවෝත්පාදනය හා ව්‍යාපාර වර්ධනය සඳහා වූ අපගේ ව්‍යාපාර ක්‍රමෝපායන් තවදුරටත් ශක්තිමත් කළ හැකි බව මට විශ්වාසයි” යනුවෙන් සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිෂ් නවරත්න මහතා පැවසීය.

“වර්තමානය වනවිට ලොව පුරා අපගේ වාණිජ වගාවන් ව්‍යාප්ත වෙලා තිබෙනවා. එය අපගේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සාමාන්‍ය අවශ්‍යතාවන් පවා ඉක්ම වූ සාර්ථකත්වයක්. ඒ වගේම අක්කර 3,000කට වැඩි භූමි ප්‍රමාණයක මහෝගනී, සඳුන්, තේක්ක සහ අගාවුඩ් වැනි වටිනා ශාක සහිත තිරසාර වාණිජ වන වගාවක් පවත්වාගෙන යෑමට අපිට හැකිවී තිබෙනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සාර්ථකත්වය හමුවේ, දැවැන්ත ව්‍යාපාර ජාලයක් ලෙස ඉදිරියට පැමිණීමට ද සදාහරිත ව්‍යාපාර සමූහයට හැකිවී තිබේ. එනම්, ආයෝජන කළමනාකරණ විසඳුම් සැපයීම සඳහා සදාහරිත ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ද, කාබනික එලවළු හා පලතුරු අපනයනය සිදුකරන සදාහරිත ඇග්‍රි ෆාම්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් සමාගම ද, දේපළ සංවර්ධනය කටයුතු සිදුකරන සදාහරිත ප්‍රොපර්ටි ඩිවලොපර්ස් පුද්ගලික සමාගම ද මෙන්ම සදාහරිත කැපිටල් ට්‍රස්ට් සමාගම ද ආදී වශයෙන් ආයතන රැසක් ම සදාහරිත ව්‍යාපාර සමූහය යටතේ මේ වනවිට ක්‍රියාත්මක වේ. “ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් අපගේ ආයතන සමූහය මීළඟ තලය කරා ඔසවා තබන බව විශ්වාසයි” යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතාට අලෙවිකරණ ක්ෂේත්‍රයේ Certified Professional Marketer (ආසියා-පැසිෆික්), Practicing Marketer (ශ්‍රී ලංකාව) වැනි සුදුසුකම් රැසක් පවතින අතර, ඔහු එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ සුදුසුකම් (CIM-UK) ලාභියෙකු ද වෙයි. තව ද Institute of Management Specialist (IMS-UK) හි සාමාජිකයෙකු වන ඒ මහතා, මැලේසියාවේ Institute of Marketing හි ගරු සාමාජිකයෙකු ද, Institute of Professional Finance Managers (IPFM-UK) හි සහතිකලත් වෘත්තීය මූල්‍ය කළමනාකරුවෙකු ද වේ. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) යාවජීව සාමාජිකයෙකු ද වන ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ්, ආචාර්ය උපාධියට අමතරව ව්‍යාපාර පරිපාලනවේදී, අලෙවිකරණ/ ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු මෙන්ම මූල්‍ය අංශ ඩිප්ලෝමාධාරියෙකු ද වේ.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ කවුන්සිල සාමාජිකයෙකු වූ ඒ මහතා, එහි සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළේය. වර්තමානයේදී ඔහු ආසියානු රටවල් 18කට වැඩි ප්‍රමාණයක ප්‍රධාන ම අලෙවිකරණ ආයතනය වන, ආසියානු අලෙවිකරණ සංසදයේ මහ ලේකම් ධූරය ද උසුළයි. ඊට අමතරව පෞද්ගලික රසායනාගාර සංගමයේ උප සභාපතිවරයා ද වන ඔහු, කොළඹ ශාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. කොළඹ කළමනාකරණ සංගමයේ වත්මන් සභාපතිවරයා වන්නේ ද ඔහු ය.

එමෙන්ම ශ්‍රී ලංකා ඖෂධ ප්‍රවර්ධකයින්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වන ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා, බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ MBA ආදි සිසු සංගමයේ හිටපු සභාපතිවරයෙක්  ද වේ. තව ද ඔහු ලංකා වාණිජ මණ්ඩලය හා සබැඳි ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත වාණිජ මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ද වරක් කටයුතු කළේය. ජාතික වාණිජ මණ්ඩලයේ ද විවිධ නිලතල හොබවා ඇති ඒ මහතා, ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා ද සිය දායකත්වය සපයයි. ශ්‍රී ලංකාවේ අපනයන සඳහා උපායමාර්ගික ගෝලීය ප්‍රචාරණ වැඩසටහනක් සැකසීම සඳහා වූ ජාතික සන්නාමකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ ඔහු, අපනයන සංවර්ධන මණ්ඩලයේ තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.  ශ්‍රී ලංකා CPM සමාජයේ අධ්‍යක්ෂවරයෙකු වූ ඔහු වෘත්තීයවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත.

සිය නව පත්වීමට ප්‍රථම ලංකා හොස්පිට්ල්ස් ඩයොග්නොස්ටික්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වසර 3ක් සේවය කළ ඒ මහතා, එම තනතුරට පත්වූ පළමු වසර අවසානයේදී එහි ආදායම 18%කින් හා ලාභය 49%කින් වර්ධනය කිරීමට සමත්විය. දෙවැනි වසරේදී, පාස්කු ප්‍රහාරය නිසා කඩාවැටුණු ආර්ථික තත්ත්වය හමුවේ වුව ද 100%ක ලාභයක් හා 17%ක ව්‍යාපාර වර්ධනයක් අත්කරගැනීමට ඔහුගේ නායකත්වය යටතේ එම ආයතනයට හැකිවිය. 2020 වසරේදී පැමිණි කොවිඩ් 19 අභියෝගය මධ්‍යයේ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කරගැනීමට ද ඔහු එම ආයතනයට ශක්තියක් විය. දේශීය හා බහුජාතික සමාගම්වල වසර 25කට වඩා සේවා පළපුරුද්දක් ඇති ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා, ඉන් වසර 18ක් ම කළමනාකාරීත්වයේ ඉහළ තනතුරු දැරූ අතර වසර 10කට අධික කාලයක් සාමාන්‍යාධිකාරී, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හා ප්‍රධාන විධායක නිලධාරී වැනි අධ්‍යක්ෂ මණ්ඩලයට වගකියන තනතුරු හොබවා ඇත.

ඔහු ජාත්‍යන්තර සම්මානලාභියෙකු වීම තවත් විශේෂත්වයකි. IMS-UK විසින් පිරිනමනු ලබන ‘විශේෂීකරණ අලෙවිකරණ කළමනාකරු’ සම්මානය දිනාගෙන ඇති ඔහු ශ්‍රී ලංකාවට කළ සේවය වෙනුවෙන් ‘දේශමාන්‍ය’ සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ. ඊට අමතරව ජාතික අපනයනකරුවන්ගේ සම්මාන, ආසියානු අලෙවිකරණ විශිෂ්ටතා සම්මාන/ රෙකිට් බෙන්කිසර් ගෝලීය අභියෝගතා සම්මාන/ ආසියානු කාන්තා ව්‍යාපාරික සම්මාන හා ආසියානු තරුණ සම්මාන වැනි වැඩසටහන්වලට විනිශ්චයකරුවෙකු ලෙස ද ඔහු සහභාගී වී ඇත.

“සදාහරිත ව්‍යාපාර සමූහය වෙත මෙම පත්වීම ලැබීම පිළිබඳවත්, උද්‍යෝගයෙන් පිරුණු කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සදාහරිත සමූහය තවදුරටත් ප්‍රගමනය කරා මෙහෙයවීමට ලද අවස්ථාව පිළිබඳවත් මම අතිශය සතුටට පත්වෙනවා. ඒ වගේම එය මට විශාල ගෞරවයක්. අනාගත ලාභදායීත්වය, වර්ධනය හා නවෝත්පාදන අතින් සදාහරිත කියන්නේ සුවිශේෂී ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවේ වාණිජ වන වගාවේ ප්‍රමුඛයා ලෙස රැඳී සිටියදී ම පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමටත් මම බලාපොරොත්තු වෙනවා” යැයි තම නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා පැවසීය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව