Visa ප්‍රථම වරට සිය ආසියා – පැසිෆික් නායකත්ව සමුළුව ශ්‍රී ලංකාවේදී පවත්වමින් රටේ සංචාරක කර්මාන්තයට අත්වැලක් වෙයි

Image - Visa reaffirms support to Sri Lanka Tourism by holding their Asia Pacific Leadership Summit in Colombo

ශ්‍රී ලංකාව විවේක සහ MICE සංචාරක කටයුතු සඳහා ලොව ප්‍රියතම ගමනාන්තයක් බවට පත්කිරීමේ අරමුණින් Visa සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර ඇතිකරගත් ක්‍රමෝපායික හවුල්කාරිත්වයේ තවත් එක් පියවරක්

කොළඹ, ජූනි 9, 2025: ලොව ගෙවීම් සේවාවන් අතර ප්‍රමුඛයා වන Visa තම ආසියා – පැසිෆික් සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ සංචාරක කර්මාන්තයට අත්වැලක් වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. මේ සඳහා වන ගිවිසුමට Visa සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් පසුගියදා අත්සන් තබන ලදි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ ආර්ථික දියුණුව සම්බන්ධයෙන් Visa දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කළ අවස්ථාවක් ලෙසද හැඳින්විය හැක. මෙම හවුල්කාරීත්වය යටතේ දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාව රැස්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ආදිය සඳහා සුදුසුම ගමනාන්තය ලෙස ප්‍රවර්ධනය කිරීමට නියමිතය.
 



 

මෙම හවුල්කාරීත්වය මගින් සහයෝගී හා පුළුල් ප්‍රවේශයක් ඔස්සේ සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කිරීම, සංචාරකයන් රට තුළ සිදු කරන වියදම් ඉහළ නැංවීම සහ Visa සතු ගෙවීම් ක්‍රමවේද ඔස්සේ සංචාරක කේන්ද්‍රස්ථාන ඩිජිටල්කරණය කිරීම යනාදිය සිදු කෙරෙනු ඇත. එමෙන්ම එමගින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාකයන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට සහ ඔවුන් වෙනුවෙන් මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද සැලසුම් කර තිබේ. මේ සඳහා භාවිතා කරන මොඩියුල Visa විසින් නිර්මාණය කර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියට ඇතුළත් කෙරෙනු ඇති අතර, සංචාරක ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ ව්‍යාපාරවල ශක්‍යතාවන් පුළුල් කිරීම සඳහා ඒවා භාවිතයට ගැනෙනු ඇත.

“ශ්‍රී ලංකාව යනු අපගේ ආසියා – පැසිෆික් සහ ගෝලීය ව්‍යාපාර න්‍යාය පත්‍රය යටතේ අපට ක්‍රමෝපායික වශයෙන් වැදගත් වෙළඳපොළක්. වසර 37 කට වැඩි කාලයක පටන් අප ශ්‍රී ලංකාවට සේවාවන් සපයනවා. සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අතිශයින් වැදගත් කර්මාන්තයක්. එය ප්‍රවර්ධනය කරමින් ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව දෙසට වැඩි වැඩියෙන් යොමු කරවීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම අවබෝධතා ගිවිසුම මෙන්ම අප ශ්‍රී ලංකාවේ පැවැත්වූ ආසියා – පැසිෆික් සමුළුව යන දෙකම, ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු වැඩිදියුණු කරමින් රට තුළ ඩිජිටල් තාක්ෂණයෙන් පන්නරය ලබන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහය මැනැවින් නිරූපණය කරන අවස්ථා දෙකක් ලෙස හැඳින්විය හැකියි.” Visa හි ආසියා – පැසිෆික් කලාපය සඳහා කලාපීය සභාපති ස්ටීවන් කාර්පින් මහතා පැවසීය.

“ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ දී, ආරක්ෂිත මෙන්ම බාධාවකින් තොර මූල්‍ය ගනුදෙනු හරහා සංචාරක අත්දැකීම් වැඩිදියුණු කිරීම, මූල්‍ය සාක්ෂරතාවය, සංචාරක කුසලතා සහ ඒකාබද්ධ අලෙවිකරණ ක්‍රියාකාරකම් ඔස්සේ සංචාරක කර්මාන්තය සවිබල ගැන්වීම අරමුණු කරගනිමින්, Visa සමඟ ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඉතා සතුටින් ප්‍රකාශ කර සිටිනවා. මෙම මුලපිරීම මගින් ඩිජිටල් නවෝත්පාදනය පිළිබඳව අපේ ඇති උනන්දුව ඉස්මතු කරනවා. ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය ආරක්ෂා කරමින්, ප්‍රමුඛ ගෝලීය සංචාරක ගමනාන්තයක් ලෙස පවත්වා ගැනීම අපේ බලපොරොත්තුව යි. MICE සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා Visa ඔවුන්ගේ පළමු ආසියා – පැසිෆික් නායකත්ව සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම ගැන අප ඔවුන්ට ස්තූතියිවන්ත වෙනවා. ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයෙහි ශ්‍රී ලංකාවේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම හවුල්කාරිත්වය උපයෝගී කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” – යනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති, බුද්ධික හේවාවසම් මහතා පැවසීය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ තවත් පාර්ශව කිහිපයක් සමග හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීමට ද Visa පියවර ගෙන තිබේ. සංචාරක ද්වාරයන් හරහා ගෙවීම් භාරගැනීම් සිදු කිරීමට සහ කලාපීය පුහුණු හා කුසලතා සංවර්ධන වැඩසටහන් සඳහා දායක වීමට Visa මේ වන විට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග ද එක්ව කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ තවත් පියවරක් වශයෙන් Visa සිය ආසියා – පැසිෆික් නායකත්ව සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ද පියවර ගත්තේය. මේ සඳහා Visa සමාගමේ ආසියා – පැසිෆික් කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දරණ සියලුම නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුහු දින 3 ක කාලයක් දිවයිනේ රැඳී සිටියහ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම සඳහා රටේ විවිධ පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා Visa දක්වන උනන්දුව හා කැපවීම මෙමගින් මැනැවින් පිළිබිඹු විය.

Visa, දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා නන් අයුරින් දායක වී තිබේ. ඒ සඳහා නොයෙක් ක්ෂේත්‍රවල කැපීපෙනෙන පුද්ගලයන් දායක කරගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම, වෙළඳුන් දැනුවත් කිරීම සහ සංචාරක කලාපවල ඩිජිටල් තාක්ෂණ ගෙවීම් පහසුකම් පුළුල් කිරීම වැනි වැඩසටහන් ක්‍රියාවට නංවන ලද අතර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා අමතර ගාස්තු රහිතව කාඩ්පත් මගින් ගෙවීම් භාරගැනීමේ හැකියාව මෙහිදී විශේෂයෙන් පෙන්වා දෙන ලදි. සංචාරක කර්මාන්තයට අමතර Visa සිය Government Solutions පදනම හරහා රාජ්‍ය ගෙවීම් ඩිජිටල්කරණය කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සඳහා කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ පහසුකම් සැලසීම වැනි පියවර ගෙන තිබේ. එමෙන්ම දේශීය බැංකු සමග ඇතිකරගත් හවුල්කාරිත්වයන් ඔස්සේ ඩිජිටල් ටිකට්පත් නිකුත් කිරීම සහ ගාස්තු ගෙවීම යනාදිය සඳහා පහසුකම් සැලසීමට ද Visa කටයුතු යොදා ඇත.

“ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වුණු ආර්ථිකයක් වෙත යන ගමන ඉක්මන් කිරීමේ දී, Visa වැනි ගෝලීය නායකයින් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කරගැනීම, අප රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට බෙහෙවින් උපකාරී වී වෙනවා. අපේ රජයේ ඩිජිටල් උපායමාර්ග ළඟා කරගැනීම සඳහා Visa හි සහාය අප වෙත ලබා දී තිබෙනවා. එම සහාය රාජ්‍ය සේවා සැපයීමේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමට සමත් වූවා පමණක් නොව, පුරවැසියන් සහ කුඩා ව්‍යාපාර සඳහා නවීන, මුදල් රහිත ගනුදෙනු පද්ධතියක සිට තම සාර්ථකත්වය කරා ගමන් කිරීමට ද හේතු වී තිබෙනවා.Visa මගින් බලගැන්වුණු Government Solutions පදනමෙන්, අපට රාජ්‍ය ගෙවීම් ඩිජිටල්කරණය කළ හැකි වේ යැයි බලාපොරොත්තු වෙනවා. එමඟින් පුරවැසියන්ට අත්‍යවශ්‍ය සේවාවන් ආරක්ෂිතව සහ පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.  ඩිජිටල් ගෙවීම් වෙත ඔවුන් ආකර්ෂණය වීමෙන් ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායන් හට ඔවුන්ගේ වෙළඳපොළ ප්‍රවේශය වගේම මූල්‍ය ඔරොත්තු දීමේ හැකියාව ද පුළුල් කරනවා. ඒ වගේම, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඉතා වැදගත් වන ඩිජිටල් අනන්‍යතා ඒකාබද්ධ කිරීම සහ තත්‍කාලීන බෙදාහැරීමේ විසඳුම් ගවේෂණය කිරීමේ හැකියාව ද ලැබෙනවා., රාජ්‍ය අංශයේ නවීකරණය, මූල්‍ය කොටස්කරණය, හෝ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය යන ජාතික ප්‍රමුඛතාවලට බාධාවකින් තොරව කරගෙන යාමට, Visa හි ගෝලීය විශේෂඥතාව සහ නවෝත්පාදනය කෙරෙහි කැපවීම ඉවහල් වී තිබෙනවා” – යනුවෙන් Visa පිළිබඳව අදහස් දක්වමින්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න පැවසීය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Visa ලංකා වාණිජ මණ්ඩලය සමග එක්ව තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් ක්‍රියාවට නැංවූ SPARK වැඩසටහන, මොණරාගල ප්‍රදේශයේ කාන්තාවන් සතු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාවට නැංවූ මූල්‍ය සාක්ෂරතා වැඩමුළු සහ SOS ළමා ගම්මාන සහ BCS Sri Lanka  සමග එක්ව ක්‍රියාවට නැංවූ තාක්ෂණික අධ්‍යාපන වැඩසටහන වැනි වැඩසටහන් රාශියක්ද මේ වන විට ක්‍රියාවට නංවා තිබේ. තවද ශ්‍රී ලංකාවේ බැංකු සේවා හවුල්කරුවන් සමග එක් වී Contactless ගෙවීම්, Wearables සහ AI තාක්ෂණය මත පදනම් වූ සයිබර් ආරක්ෂණ විසඳුම් වැනි නිෂ්පාදන හා සේවාවන් රැසක් මෙරටට හඳුන්වා දීමටද Visa පියවර ගෙන ඇත.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව