Uber සමාගම 2024 වසරේදී රුපියල් බිලියන 160 ක ආර්ථික ක්‍රියාකාරකම් සමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහය වෙයි: වාර්තාවක්

WhatsApp Image 2025-04-24 at 9.23.10 AM
  • Uber සහ Uber Eats මගින් ජනනය වූ පාරිභෝගික අතිරික්තය (Consumer Surplus)* රු. බිලියන 338 ඉක්මවයි
  • රියදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්, ඔවුන්ට තිබූ ඊළඟ ජීවනෝපායමය විකල්පයට සාපේක්ෂව 24% ක් වැඩි ආදායමක් Uber හරහා උපයා ඇත.
  • ප්‍රාදේශීය අවන්හල් සහ අලෙවිසැල් වෙනුවෙන් ලබාදුන් අතිරේක වටිනාකම් දායකත්වය රු. බිලියන 3.6 ක්

nUber සමාගමේ 2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාවේ (2024 Sri Lanka Economic Impact Report) සඳහන් ප්‍රධාන කරුණු රැසක් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. මෙම වාර්තාව පිළියෙල කරන ලද්දේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පර්යේෂණ සමාගමක් වන Public First විසිනි. මෙම වාර්තාවට අනුව Uber සහ Uber Eats විසින් පසුගිය වසරක කාලය තුළ ආර්ථික ක්‍රියාකාරකම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දක්වන ලද දායකත්වය රු. බිලියන 160 කට අධිකය. ශ්‍රී ලාංකිකයන්ට නම්‍යශීලී ආදායම් අවස්ථා උදාකර දෙමින් සහ සුරක්ෂිත හා සහනදායී ප්‍රවාහන පහසුකම් සලසමින්, රටේ ව්‍යාපාරවලට වැඩි පාරිභෝගිකයන් පිරිසක් සමග ගනුදෙනු කිරීම සඳහා Uber ලබාදුන් අත්වැල මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
 



 

පසුගිය වසර කිහිපය තුළ ජනතාව ගමන් බිමන්වල යෙදෙන ආකාරය මෙන්ම ආහාරපාන හා එදිනෙදා භාණ්ඩ ඇණවුම් කරන ආකාරය පූර්ණ වෙනසකට ලක්කිරීමට Uber සමත් වී ඇත. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදෙමින් සිටින මෙවන් යුගයක ගමනාගමන හා ප්‍රවාහන සේවාවන් සුරක්ෂිත හා ලාභදායී කිරීම තුළින්, රටට ආර්ථික වර්ධනය ළඟා කරගැනීමට අත්වැලක් වීමට Uber සමාගමට හැකි වී තිබේ.

වාර්තාවේ සඳහන් කරුණු අතරින් ප්‍රධාන කරුණු කිහිපයක් පහත අදක්වා ඇත.

පුළුල් ආර්ථික පරාසයකට අත්වැලක් වීම 

Uber මගින් ලබාදෙන සේවාවන් හුදෙක් එම සේවාව සමග එක් වී සිටින ප්‍රවාහන සේවා සපයන්නන්ට සහ ආපනශාලාවලට පමණ නොව සමස්තයක් ලෙස රටේ තවත් කාණ්ඩ රැසකට ප්‍රතිලාභ අත්කර දෙයි.

  • පාරිභෝගික අතිරික්තය: පසුගිය වසර තුළ Uber සහ Uber Eats සේවාවන් මගින් ජනනය වූ පාරිභෝගික අතිරික්තය රු. බිලියන 338 ක් විය.
  • සංචාරක කර්මාන්තයට අත්වැලක්: මෙම සමීක්ෂණයට අදාළ වර්ෂය තුළ අමතර වටිනාකම් වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක සේවා කර්මාන්තයට Uber ලබාදුන් දායකත්වය රු. බිලියන 16 කි.
  • මූලික පරාසයෙන් පරිබාහිර බලපෑම: ශ්‍රී ලාංකික රියදුරන් සහ බෙදාහැරීමේ හවුල්කරුවන් පසුගිය වසරක කාලය තුළ තම රථවාහන නඩත්තු කිරීම සඳහා දේශීය ව්‍යාපාරවලට රුපියල් මිලියන 660 කට වැඩි මුදලක් ගෙවා ඇත.

අවස්ථා පුළුල් කිරීම

2015 වසරේදී ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව Uber මෙරට රියදුරන්ට සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ට තම ආදායම වැඩි කරගැනීමට අවස්ථා උදා කර දෙමින්, අභියෝගකාරී අවස්ථාවලදී පවා මෙරට පවුල්වලට මූල්‍යමය රැකවරණයක් හිමි කර දී තිබේ.

  • ඉහළ ඉපැයුම්: 2024 වසරේදී රියදුරන්ට සහ ඩිලිවරි සේවා හවුල්කරුවන්ට, ඔවුන්ට තිබූ ඊළඟ ජීවනෝපායමය විකල්පයට සාපේක්ෂව 24% ක් වැඩි ආදායමක් Uber හරහා ඉපයීමට හැකියාව ලැබිණි.
  • පවුල්වලට අත්වැලක්: Uber app හරහා ජීවනෝපාය මාර්ගවල නිරත වීම මගින් තම පවුල්වලට ආර්ථික අර්බුදයට මුහුණ දීම පහසු වූ බව සෑම රියදුරන් 10 දෙනෙකු අතරින් 7 දෙනෙකුම පැවසූහ.
  • වඩාත් ඉහළ ස්ථාවරත්වයක්: වෙනත් ක්‍රමයකින් ඔවුන්ට අත්කර ගැනීමට නොහැකි වීමට ඉඩ තිබූ ස්ථාවරත්වයක් අත්විඳීමට තමන්ට හැකි වූ බව 60% ක ප්‍රතිශතයක් පැවසූහ.

ගමනාගමනය වෙනස් කිරීම

Uber විසින් විවිධ මිල පරාසයන් යටතේ ජනතාවට සුරක්ෂිත, විශ්වාසනීය සහ සහනදායී ප්‍රවාහන විසඳුම් සපයන ලදි. මෙය ඔවුන්ට විශේෂයෙන්ම රථවාහන තදබදය සහිත ප්‍රදේශවල ගමනාගමනයෙහි යෙදීමේදී කාලය ඉතිරි කරගැනීමට උපකාරී විය.

  • ඵලදායිතා ප්‍රතිලාභ: 2024 වසරේදී තම සේවාව භාවිතා කරන්නන් වෙනුවෙන් Uber ඉතිරි කර දුන් කාලය පැය මිලියන 1.2 කි. මෙමගින් රාජකාරිමය ඵලදායිතාව ඉහළ ගිය අතරම පාරිභෝගිකයන්ට වැඩි කාලයක් තම ආදරණීයයන් සමග ගතකිරීමටද අවස්ථාව හිමි විය.
  • අත්‍යවශ්‍ය ගමනාගමන පහසුකම්: මගීන් අතරින් 79% ක් රැකියා ස්ථාන කරා ගමන් කිරීමට Uber සේවාවන් භාවිතා කර තිබූ අතර, 65% ක් පැවසුවේ තමන් හදිසි අවස්ථාවලදී Uber app භාවිතා කළ බවයි.
  • සහනදායී මිලගණන්: Uber app තුළ තෝරාගැනීම් කිහිපයක් ඇති නිසා, අතේ ඇති මුදල අනුව ගමනාගමන විසඳුම් තෝරාගැනීමට හැකි වූ බව මගීන් අතරින් 67% ක් පැවසූහ. මෙම විසඳුම් අතරින් වැඩිම ජනප්‍රියත්වයක් පෙන්නුම් කර ඇත්තේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සේවාවන්ය.

පාරිභෝගිකයන් සහ දේශීය ව්‍යාපාර අතර සම්බන්ධතා ගොඩනැංවීම

සරල පියවර කිහිපයක් තුළින් තමන්ට අවශ්‍ය භාණ්ඩ තමන් වෙතටම ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දෙන Uber සහ Uber Eats, මෙරට ජනතාව සහ ඔවුන් ජීවත් වන ප්‍රදේශ අතර සම්බන්ධතාව තර කරමින් සිටී.

  • කුඩා ව්‍යාපාරවල දියුණුව: Uber Eats ශ්‍රී ලංකාව පුරා ආපනශාලා සහ වෙළඳුන් වෙනුවෙන් ලබාදුන් අමතර වටිනාකම් දායකත්වය රු. බිලියන 3.6 කි.

[ආපනශාලාවලට සහ වෙළඳුන්ට රුපියල් බිලියන 3.6 ක අමතර වටිනාකමක් ලබා දීමෙන් කුඩා ව්‍යාපාර වර්ධනයට දායක විය].

  • ප්‍රාදේශීය අවන්හල්වලට අත්වැලක්: තමන් Uber Eats සේවාව හරහා කුඩා පරිමාණ හෝ පවුලක හිමිකාරීත්වය යටතේ පවතින ආපනශාලා වෙතින් ආහාරපාන ඇණවුම් කළ බව 89% ක ප්‍රතිශතයක් පැවසූහ. ප්‍රාදේශීය මට්ටමේ ආපනශාලාවල දියුණුව සඳහා ඉන් ලැබුණු දායකත්වය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
  • පහසුවෙන් ඇණවුම් කිරීමේ හැකියාව: පාරිභෝගිකයන් අතරින් 84% ක් තමන් සාමාන්‍යයෙන් නිවසේදී පිළියෙල නොකරන ආහාරපාන ඇණවුම් කර තිබූ අතර, 81% ක් තම වියදම් සීමාවට ගැළපෙන එදිනෙදා භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ Uber Eats හරහා ගෙන්වාගත් බව පැවසූහ.

ආරක්ෂාව හා පහසුව

විශේෂයෙන් තනිවම හෝ රාත්‍රී කාලයේ ගමන්බිමන්වල යෙදෙන කාටත් විශ්වාසනීය හා සුරක්ෂිත ප්‍රවාහන සේවාවන් පහසුවෙන් ලබාගැනීමට හැකි වීම අතිශයින් වැදගත්ය. ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන ආයෝජන නිසා දැනටමත් Uber  සේවාවන් සම්බන්ධයෙන් කැපීපෙනෙන වෙනස්කම් නිරීක්ෂණය වෙමින් පවතී.

  • වඩාත් සුරක්ෂිත ගමන් බිමන්: ආරක්ෂාව යනු Uber තෝරාගැනීමේදී තම අවධානය යොමු වූ ප්‍රධානතම සාධකයක් වූ බව මගීන් අතරින් 83% ක් පැවසූ අතර, රාත්‍රියේ නිවෙස් බලා යාමට තිබූ සුරක්ෂිතම ක්‍රමය Uber බව 80% ක් පැවසූහ.
  • ආරක්ෂක මෙවලම්: GPS Tracking සහ ‘Share Your Trip’ වැනි විශේෂාංග ජනතාව අතර ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතී. තාක්ෂණය මූලික කරගත් එවැනි ආරක්ෂක විසඳුම් දිගින් දිගටම හඳුන්වා දීම Uber සමාගමේ අරමුණ වී ඇත.
  • මහාමාර්ගයේ ආරක්ෂාව: තම ප්‍රදේශවල මත්පැන් පානය කර රිය පැදවීමේ සිද්ධි අවම කිරීම සඳහා Uber සහ එවැනි සේවාවන්ගෙන් විශාල කාර්යභාරයක් ඉටු වී ඇති බව 71% ක් පැවසූහ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් Uber Sri Lanka මෙරට ප්‍රධාන කළමනාකාරිනී (ගමනාගමන) කෞශල්‍යා ගුණරත්න මහත්මිය දැක්වූ අදහස්: “ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අප සතු දීර්ඝකාලීන කැපවීම මෙම වාර්තාව මගින් නැවතත් තහවුරු වනවා. දහස් ගණනක පිරිසකට නම්‍යශීලී ජීවනෝපාය මාර්ග උදාකර දීමටත්, මිලියන ගණනකට සුරක්ෂිත හා විශ්වාසනීය ප්‍රවාහන පහසුකම් සැපයීමටත්, දේශීය ව්‍යාපාරවලට මහා පරිමාණයෙන් අත්වැලක් වීමටත් හැකි වීම අපට මහත් සතුටක්. මේ ආකාරයට දිගින් දිගටම රටේ ක්‍රමානුකූලව විකාශනය වන ගමනාගමන හා ප්‍රවාහන සේවා අවස්ථා සපුරාලීමට අප සූදානම්.”

Uber Sri Lanka සමාගමේ මෙරට ප්‍රධාන කළමනාකරු (ප්‍රවාහන) වරුන් විජයවර්ධන මහතා දැක්වූ අදහස්: “ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබ වෙතටම ගෙනැවිත් භාරදීම සහ අලෙවිසැල්වලට නව පාරිභෝගිකයන් හා සම්බන්ධ වීමට අවස්ථාව උදාකර දීම ඇතුළුව, විවිධ කාණ්ඩ එකිනෙකා සමග සම්බන්ධ කරවීම සඳහා Uber Eats කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටිනවා. විශේෂයෙන්ම අභියෝගකාරී ආර්ථික පරිසරයකට මුහුණ දී සිටින, පවුල්වල හිමිකාරීත්වය යටතේ පවතින කුඩා පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වීම ඇතුළුව මේ දක්වා අපගෙන් සිදු වූ මෙහෙවර සමබන්ධයෙන් අප අතිශයින් තෘප්තිමත්.”

ශ්‍රී ලංකාව ආර්ථික පුනර්ජීවනය සහ ඩිජිටල් පරිවර්තනය කරා ගමන් කරමින් සිටින මේ මොහොතේ, රට පුරා වෙසෙන ප්‍රජාවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා Uber අඛණ්ඩව කැප වී සිටී.

*පාරිභෝගික අතිරික්තය (Consumer Surplus): ආර්ථික සුභාසාධනයේ වැදගත්ම මිනුම්වලින් එකකි. භාණ්ඩයක් හෝ සේවාවක් ස්වේච්ඡාවෙන් අත්හැරීම සඳහා යමෙකුට ගෙවීමට සිදුවන මුදල මින් අදහස් වේ. යම් භාණ්ඩයක පාරිභෝගික අතිරික්තය බින්දුව නම්, එයින් අදහස් වන්නේ අපට එය එතරම් වැදගත් නොවන බවයි. අනෙක් අතට ඉහළ පාරිභෝගික අතිරික්තයක් සහිත භාණ්ඩ අපගේ ජීවිත තුළ වැදගත් භූමිකාවක් ඉටුකරයි.

සමීක්ෂණය සඳහා භාවිතා කළ විධික්‍රමය ඇතුළුව සම්පූර්ණ වාර්තාව සඳහා මෙතැනින් පිවිසෙන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව