TGL GemLab කුරුවිටින් සොයා ගත් ලොව පළමු Cat’s Eye Xenotime මැණික එළි දක්වයි

Capture

ගෝලීය මැණික් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලොව මෙතෙක් හඳුනා ගෙන ඇති පළමු Cat’s Eye Xenotime මැණික රත්නපුර කුරුවිට ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. කැරට් 38.88ක් බර එය දුඹුරු මිශ්‍ර කොළ පැහැයකින් යුක්ත වන අතර සුවිශේෂ බළල් ඇස් ආචරණයක් පෙන්නුම් කරයි. Xenotime වර්ගයේ මැණික්වල බළල් ඇස් ආචරණයක් තිබීම අතිශයින් දුර්ලභ සිදුවීමකි. ලොව පුරා මැණික් විශේෂඥයන්ගේ අවධානය දිනූ මෙම මැණික දුර්ලභ සහ විශිෂ්ට ගණයේ මැණික් සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රසිද්ධිය තීව්‍ර කරයි.
 



 
මෙම මැණික හඳුනා ගෙන වර්ගීකරණය කළේ මෙරට ප්‍රමුඛතම මැණික් විද්‍යාගාරය වන  TGL GemLabහි නිර්මාතෘ ආචාර්ය කසුන් ජී. මැදිවිල [DBA (USA), GG (GIA)] ය. කසුන් ජී. මැදිවිල සහ මැණික් ව්‍යාපාරිකයෙකු හා මැණික් විශේෂඥයෙකු වන ජී. ඩී. නන්දන එදිරිසිංහ විසින් මෙම මැණික සොයා ගනු ලැබ TGL GemLab වෙත භාර දෙන ලදී. ලොව විශාලම Serendibite මැණික සහ වසර 160කට පසු ශ්‍රී ලංකාවෙන් සොයා ගත් පළමු Samarskite මැණික එදිරිසිංහ මහතාගේ සොයා ගැනීම් අතර වේ. කඩුවෙල මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ මධ්‍යස්ථානයේ නලීන් ජයසිංහ වැඩි දුර පර්යේෂණ කළේය. ජාත්‍යන්තර වශයෙන් සත්‍යාපනයට මෙම මැණික ජාත්‍යන්තර ඛනිජ විද්‍යා සංගමය (IMA) සහ ඇමරිකාවේ මැණික් විද්‍යා ආයතනය (GIA) වෙත යවා තිබේ. වටිනාකම සහ දුර්ලභභාවය නිල වශයෙන් පිළිගැනීමට ලක් වුණොත් මෙය ලෝකයේ දැනට හඳුනා ගෙන ඇති එම වර්ගයේ පළමු මැණික ලෙස වාර්තා අතරට එක් වේ.

Xenotime වර්ගයේ මැණික් මූලික වශයෙන් yttrium orthophosphateවලින් (YPO₄) සමන්විත වේ. එර්බියම්, ඩිස්ප්‍රෝසියම් සහ යිටර්බියම් එහි වර්ණ සංයෝජනයට සහ දෘශ්‍ය ලක්ෂණවලට හේතු වේ. ටෙට්‍රාගෝන ව්‍යුහයක ස්ඵටිකීකරණය වී තිබීම එහි ස්ථායිතාවට සහ අනෙකුත් සුවිශේෂ ලක්ෂණවලට හේතු වේ. මැණික් විශේෂඥයන් අතර Xenotime ප්‍රසිද්ධ වුවත් Cat’s Eye ප්‍රභේදය පිළිබඳව ලේඛණගත සාක්ෂියක් නොමැති බැවින් මෙම සොයා ගැනීම මැණික් විද්‍යාවේ ඉදිරි ගමනට ඉතා වැදගත්ය. සමහර Xenotime නිදර්ශකවල යුරේනියම් සහ තෝරියම් අන්තර්ගත වන අතර ඒවා අතිශය විකිරණශීලී වීමටද ඉඩ ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව