SSG ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ සිය පුහුණු මධ්‍යස්ථාන 10ක් දක්වා පුළුල් කරයි

1- Weerawila student batch (LBN)

ස්විස් ආධාර යටතේ ක්‍රියාත්මකවන ‘තිරසාර වර්ධනය සඳහා වූ නිපුණතා (Skills for Sustainable Growth -SSG) වැඩසටහන‘ මගින් ඉකුත් ජූලි සහ අගෝස්තු මාස දෙක තුළ නව පුහුණු මධ්‍යස්ථාන හයක්  පසුගියදා විවෘත කෙරුණි. කළුතර, ගම්පහ, කොළඹ, මඩකළපුව, ත්‍රිකුණාමල සහ අම්පාර දිස්ත්‍රික්ක ආවරණය කරමින් පිළිවෙළින් බුලත්සිංහල, කටුනායක, රාජගිරිය, වාලච්චේන, කුච්චවේලි සහ අම්පාර යන නගරවල මෙම පුහුණු මධ්‍යස්ථාන ආරම්භ විය. මීට අමතරව මහනුවර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල, සෙංකඩගල, නාඋල, මීපිළිමාන සහ වීරවිල නගරවල ද මෙම පුහුණු මධ්‍යස්ථාන දැනට ක්‍රියාත්මක වේ.

 




 

මේ අනුව සංචාරක කර්මාන්තය පිළිබඳ වෘත්තීය පුහුණුව පිරිනමන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 10ක් පුරා විහිදුණු විශාලතම අධ්‍යාපන මධ්‍යස්ථාන ජාලය බවට SSG පුහුණු මධ්‍යස්ථාන පෙළ පත්ව තිබේ. අවවරප්‍රසාදිත තරුණ පිරිස් වෙත ඔවුන්ගේ ස්ත්‍රීපුරුෂභාවය, වාර්ගිකත්වය හෝ ආගමිකත්වය නොසළතා පොදුවේ අවස්ථා පිරිනමන පුහුණු අවස්ථාවක් ලෙස එය ඉදිරියට පැමිණ ඇත. දැනට මෙම පුහුණු මධ්‍යස්ථාන ජාලය හා ලියාපදිංචි වී සහ දැනටමත් පුහුණුව ලබන 600කට වැඩි තරුණ පිරිසක් සිටින අතර මේ වසර අවසානය වනවිට තවත් සිසුන් 970ක් ඊට බඳවාගැනීමට සැලසුම් කර තිබේ. 2025 වසරේදී පුහුණු මධ්‍යස්ථාන 10හිදී සිසුන් 1,830 දෙනෙකුට පුහුණුව ලබාදීමට අපේක්ෂිත ය.

මේ අතර නුවරඑළිය SSG පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවලත් පළමු ශිෂ්‍ය කණ්ඩායම 2024 සැප්තැම්බර් මාසයේදී තම පස් මාසික පුහුණුව නිම කිරීමට නියමිත ය. මෙම සිසුන් මේ වනවිටත්‍ Grand Hotel, Hill Club, Seven Heaven, Landale, සහ Oliphant Bungalow by Amaya වැනි ප්‍රකට හෝටල් රැසක රැකියා හිමිකරගැනීමට සමත්ව තිබීම ද විශේෂත්වයකි. එමෙන්ම නුවර පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවලත් දෙවැනි ශිෂ්‍ය කණ්ඩායම තම සිව් මාසික න්‍යායික ඉගෙනුම් කාලසීමාව නිමකර වැටුප් සහිත ආධුනිකත්ව අවස්ථා සඳහා පිටත්ව යාමට අපේක්ෂිත ය. ඔවුන්ට ද Grand Kandyan, Mahaweli Reach, Cinnamon Citadel, Casamara Hotel, සහ Heritance Tea Factory වැනි හෝටල් රැසක අවස්ථා හිමිව තිබේ.

තව ද, නාඋල පුහුණු මධ්‍යස්ථානයෙන් පුහුණුවලත් දෙවැනි ශිෂ්‍ය කණ්ඩායම මේ වනවිට Hunas Falls, Cinnamon Citadel, Sigiri Village, Jetwing Lake, Occidental Paradise, Hikka Tranz, Devon Rest, සහ Mahaweli Reach හෝටල්වල ආධුනිකත්ව පුහුණු අවස්ථා ලබාගෙන ඇති අතර, වීරවිල පුහුණු මධ්‍යස්ථානයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම තම සිව් මාසික න්‍යායික පුහුණුව අවසන් වීමෙන් අනතුරුව, Shangri-La Hambantota, Laya Safari, Thaulle Ayurvedic Resort, Rice of Life by Tissa Inn, Tamarind Tree Tissamaharama, සහ Cinnamon Wild Yala යන හෝටල්වල පුහුණුවට එක්වීමට නියමිත ය.

සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණික දැනුමට අමතරව ප්‍රායෝගික කුසලතා, ප්‍රායෝගික අත්දැකීම් සහ මෘදු කුසලතා සංවර්ධනය වෙනුවෙන් ද ඉහළ අවධානයක් යොමුකිරීම, SSG ව්‍යාපෘතියේ විශේෂත්වයකි. ඊට හේතුව වන්නේ, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය තුළ ඉහළ වෘත්තීය සාර්ථකත්වයක් ළඟාකරගැනීම වෙනුවෙන් මෙම කුසලතා අත්‍යාවශ්‍ය වීමයි.  සෑම පුහුණු මධ්‍යස්ථානයකම ස්ථාවර අධ්‍යාපන රාමුවක් ක්‍රියාත්මකවන අතර, එමගින් සංචාරක කර්මාන්තයේ ප්‍රවීණයින් සහ මෘදු කුසලතා පුහුණුකරන්නන් යටතේ පුහුණුව ලැබීමට සිසුන්ට අවකාශ උදාවේ. එහි විෂය මාලාවට නායකත්වය, සන්නිවේදනය, සාකච්ඡා ගනුදෙනු කලාව, කණ්ඩායම් ක්‍රියාකාරකම්, කීර්තිමත් සංචාරක හෝටල් ආශ්‍රිත ක්ෂේත්‍ර චාරිකා, හෝටල් සාමාන්‍යාධිකාරීවරුන්ගේ ආරාධිත දේශන, සම්මුඛ පරීක්ෂණ පුහුණු සැසි, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට අදාළ ක්‍රියාකාරකම්, පොදු කථනය සහ රැකියා අයදුම්පත් නිර්මාණය කිරීම ආදී අංග බොහෝමයක් ඇතුළත්  වේ.

SSG වැඩසටහන සිය ප්‍රධාන පාර්ශ්වකරුවන්වන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථාන සහ හෝටල් සංගම් සමඟ එක්ව ඉදිරියේදී තවත් අධ්‍යාපන ක්‍රියාකාරකම් දියත් කිරීමට සැලසුම්කර තිබේ. ඒ හරහා තවදුරටත් සිසුන් වෘත්තීය ලෝකයට හැඩගස්වමින් ඔවුන්ට අවශ්‍ය කුසලතා සහ දැනුම සමීප කිරීමට හැකිවනු ඇත. ඔවුන්ට දේශීය සහ ජාත්‍යන්තර රැකියා අවස්ථා හිමිකරගැනීමට එය ශක්තිමත් පදනමක් සපයනු නිසැක ය.

ඉංග්‍රීසි භාෂාවට සාමාන්‍ය (සී) සාමාර්ථයක් සමඟ අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට ලැදියාවක් දක්වන වයස අවුරුදු 18-25ත් අතර පසුවන සිසුන්ට මෙම වැඩසටහන සමඟ එක්විය හැක. ඊට ලියාපදිංචිවීමට සහ වැඩිදුර තොරතුරු ssg@baurs.com ඊමේල් ලිපිනය හෝ https://www.facebook.com/baurs.ssg ෆේස්බුක් හරහා ලබාගත හැක.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව