SPARK 2024 තරුණ ව්‍යවසායකත්ව තරඟාවලිය සඳහා නිපුණතා පිරි තාරුණ්‍යයෙන් අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි.

Image (LBN)

2024 ජුලි 17: නිපුණතා පිරි තරුණ ව්‍යවසායකයන් උදෙසා නිර්මාණය කළ ජාතික වේදිකාවක් වූ SPARK තරඟාවලිය 2024 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති අතර, දිවයින පුරා විසිරී සිටින, වයස 15-30 අතර දැනටමත් ව්‍යවසායක යෙදෙන හෝ ඊට අපේක්ෂා කරන තරුණ-තරුණියන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වේ.

 



 

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන SPARK 2024, පාසැල් හා තරුණ වියේ ව්‍යවසායකත්ව අදහස් ඇති තරුණ-තරුණියන් ඉලක්ක කරනු ලැබූ තරඟාවලියක් වන අතර, පාසැල් හා විවෘත වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මේ තරඟය සඳහා අයදුම් කළ හැකිය. තාරුණ්‍යයේ නව්‍ය අදහස් හා සංකල්ප, සමාජයේ ප්‍රගතියට හේතුවන නව ව්‍යවසායන් බවට පරිවර්තනය කිරීම සඳහා දිරිගැන්වීම මෙම තරඟාවලියේ අරමුණයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ බුවනෙකබාහු පෙරේරා මහතා අදහස් දක්වමින්, “අප තරුණ ව්‍යවසායකයන්ගේ දියුණුවට අතහිත දීමට දිගින් දිගටම කැපවුණු ආයතනයක්. ඒ වගේම අනාගත ශ්‍රී ලංකාවේ වාණිජ ක්ෂේත්‍රය සඳහා ඔවුන්ගේ භූමිකාව හඳුනා ගැනීම කෙරෙහිත්, මේ තරඟාවලිය හරහා මූලික අවදානයක් යොමු කරනවා. පෞද්ගලික අංශයේ අපගේ හවුල්කරුවන්ගේ ද සහයෝගය ඇතිව නිර්මාණය කළ SPARK, වාර්ෂික තරඟයක් ලෙස අඛණ්ඩව පැවැත්වීමට අප බලාපොරොත්තු වන අතරම, මේ තුළින් අපේ රටේ තරුණ ප්‍රජාව සතු නව අදහස් දිරිගන්වමින්, ඔවුන්ගේ ව්‍යවසායක නිපුණතා පෝෂණය කරමින්, එම හැකියාවන් ලොවටම පෙන්වීමට ඉඩක් සලසා දීමටත් අප ඇපකැප වී සිටිනවා. මේ වසරේදීත් ඉතා උද්යෝගිමත් තරඟයක් ඔබට දැකබලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇති අතර, මේ සඳහා තරුණ-තරුණියන් වැඩි වශයෙන් යොමු කරවීමට උනන්දු කරවන ලෙස අප දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.”

අඛණ්ඩව දෙවැනි වරටත් පැවැත්වෙන SPARK තරඟාවලිය, මෙම වසරේදීත් අනාගත ව්‍යවසායකත්ව ශක්‍යතා හා අපේක්ෂා ඇති තරුණ පිරිස් වෙත ආරාධනා කරයි. පසුගිය වසරේ තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූ තරඟකරුවන්ට මාර්ගගත වැඩමුළු මගින් ව්‍යාපාර සැලසුම් සම්පාදනය පිළිබඳ පුහුණු අවස්ථා, නේවාසික පුහුණු කඳවුරු මගින් හා ව්‍යවසායක උපදේශනයන් මඟින් ව්‍යවසායක සංකල්ප ඉදිරිපත් කිරීමේ නිපුණතා සංවර්ධනය වැනි වටිනා අවස්ථා රැසක් ද හිමි වූ අතර තරඟාවලියේ ජයග්‍රාහකයන් 10 දෙනෙකුට ඉන්දියාවේ හයිඩ්‍රාබාද් හි නවෝත්පාදන හා ව්‍යවසායකත්ව පරිසරය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට අගනා විදේශ සංචාර අවස්ථාව ද හිමි විය.

පසුගිය වසරේ තරඟාවලියේ ජයග්‍රාහිකාව වූයේ 16 හැවිරිදි මිහින්දි මිනුපමා දියණියයි. කුඩා අදහසකට වුවත් ලෝකයටම බලපාන ලොකු වෙනසක් සිදු කළ හැකි බව සඳහන් කළ ඇය වැඩිදුරටත් අදහස් දක්වමින්, “මම SPARK එකට අයදුම් කළේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව. මම ඒක සාර්ථකව ජයගත්තා. මගේ ව්‍යවසායක අනාගතයටත් මේ නිසා පැහැදිලි මාවතක් විවර වුනා. රටක් වශයෙන් දියුණුවෙන්න නම් ව්‍යවසායකත්වය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. SPARK තරඟයෙන් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍ය නිපුණතා  දියුණු කරගන්න උදව් උනා.”

මේ සඳහා සහභාගී වීමට තරුණ-තරුණියන්ට ආරාධනා කරමින් අදහස් දැක්වූ ඇය, “මේ වසරෙදි SPARK  සඳහා සහභාගී වෙන්න ඔබ හැමෝටමත් අවස්ථාවක් තියෙනවා. SPARK තරඟය ජයග්‍රහණය පමණක් නෙවෙයි, තරඟයට සහභාගි වීම පවා ජයග්‍රහණයක් කියලා මම හිතනවා. ඒ නිසා ඔයාලගේ සිහින යථාර්ථයක් බවට පත්කර ගන්න ලැබෙන මේ වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

මිහින්දිගේ පියා වන ලලිත් සුජීව බණ්ඩාර අදහස් දක්වමින්, “මගේ දියණිය මේ ගැන ලොකු උනන්දුවක් දැක්වූවා. පාසල් අධ්‍යාපන කටයුතු එක්ක ව්‍යවසායක කටයුතුවලට යොමු වීම ගැන මගේ චකිතයක් තිබුණෙ නෑ. ඇය සමබරව සියලු කටයුතු කරගෙන යන කෙනෙක්. SPARK  තරඟයට ඇය සහභාගි වීම ගැන මම සතුටු වෙනවා. සාම්ප්‍රදායික රැකියාවකින් එහාට ගිහින් ඇයගේ අනාගතය සාර්ථක කරගන්න මේ තරඟයට සහභාගී වීම වැදගත් වෙනවා. තරුණ-තරුණියන්ට තම තමන්ගේ නිපුණතා දියුණු කරගෙන සාර්ථක වෙන්න තව තවත් පුළුල් අවස්ථා හිමි විය යුතුයි. SPARK  කියන්නේ ඒකට හොඳම වේදිකාවක්.”

“ඔබේ දරුවාත් ව්‍යවසායකත්වයට උනන්දුවක් දක්වනවා නම් ඒ සඳහා අවශ්‍ය නිපුණතා දියුණු කරගෙන ඔවුන්ගේ සිහින කරා යන්න අවස්ථාව ලබා දෙන්න කියලා මම දෙමාපියන්ට යෝජනා කරනවා. මේ වසරේ SPARK සඳහා සහභාගී වෙන්න ඔවුන්ව දිරිගන්වන්න කියලා මම වැඩිදුරටත් සඳහන් කරන්න කැමතියි.”

දකුණු ආසියානු ව්‍යවසායකත්ව නායකත්ව (SALE) ව්‍යාපෘතිය මගින්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගය SPARK 2024 සඳහා ලැබී ඇති අතර, ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව විවිධ ව්‍යවසායක ක්ෂේත්‍රයන් වෙත යොමු කිරීමට හා එමඟින් සාර්ථක  අනාගතයක් උදා කර ගැනීමට අවශ්‍ය මූලික පසුබිම හා ඉඩකඩ සලසා දීම මෙම සහයෝගීතාවයේ ඉලක්කය වී ඇත.

ILO ප්‍රධාන තාක්ෂණ උපදේශක  ආචාර්ය තෝමස් ක්‍රින්ග් අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ට දීප්තිමත් අනාගතයක් කරා පියවර ඔසවන්නට ලැබුණු හොඳම අවස්ථාවක් වන මෙම තරඟාවලිය සඳහා සහභාගී වන ලෙස අපි රට පුරා සිටින තරුණ-තරුණියන්ට ආරාධනා කරනවා. මේ යුගයේ අපි මුහුණ දෙන අභියෝගවලට සාර්ථක විසඳුම් සමඟ ඔවුන්ගේ නවෝත්පාදන අදහස් සඳහා හොඳ ඉඩක් මේ තුළින් විවර වනු ඇති බව අපේ විශ්වාසයයි. එමෙන්ම, මේ තරුණයන් ව්‍යවසායක ලෝකය තුළ බලගන්වමින් ඔවුන්ගේ සාර්ථකත්වයට ශක්තියක් ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. තරඟකරුවන්ට මේ තුළින් ඔවුන්ගේ නිපුණතා සංවර්ධනය කරගනිමින් ජාත්‍යන්තර ලෝකයේ ව්‍යාපාර ජාලයන්ට සම්බන්ධ වීමටත්, ඒ තුළින් උපරිම ඵල නෙලා ගන්නටත් අවස්ථාව ලැබීම මෙහි ඇති විශේෂත්වයක්.”  යනුවෙන් පැවසීය.

ව්‍යවසායක ක්ෂේත්‍රයේ නිපුණතා ඇති තරුණ-තරුණියන් සඳහා වූ SPARK 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය මෙම වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත අතර ව්‍යවසායක සංකල්ප හා අභිලාෂ ඇති පාසල් සිසුන්ට හා තරුණ නවෝත්පාදකයන්ට https://spark.chamber.lk/ වෙබ් අඩවිය හරහා මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දැන් විවර වී ඇත. අයදුම්පත් බාර ගැනීම 2024 ජුලි 30 දිනෙන් අවසන් වීමට නියමිතය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව