SPARK 2024 තරඟාවලියේ අවසන් වටයෙන් හෙට දවසේ තරුණ ව්‍යවසායකයන් කිරුළු පළඳයි

DSC_6728 (LBN)

බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි, නිපුණතා පිරි තාරුණ්‍යයයේ ව්‍යවසායකයන් කිරුළු ගන්වන SPARK 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සැප්තැම්බර් 5 දින උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයන් සවි බලගන්වන්ට තැනූ ජාතික වේදිකාවක් වූ මෙම තරඟාවලියේ අවසන් වටය සඳහා ‘පාසැල්’ හා ‘විවෘත’ යන කාණ්ඩ දෙකෙන්ම නවෝත්පාදන ව්‍යවසායක අදහස් ඉදිරිපත් කළ තරුණ ව්‍යවසායකයන් දස දෙනෙකු අවසන් වටය සඳහා සුදුසුකම් ලබා තිබිණ. ජයග්‍රාහකයන් කිරුළු ගන්වමින් වැඩසටහනේ සමාප්තිය සනිටුහන් විය.

නිපුණතා පිරි තරුණ ව්‍යවසායකයන් උදෙසා වූ මෙම වාර්ෂික තරඟාවලිය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ මෙහෙයවීමෙන් හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO), දකුණු ආසියානු ව්‍යවසායකත්ව නායකත්ව (SALE) ව්‍යාපෘතියේ  සහයෝගිතාවයෙන් සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍යාධාර යටතේ පවත්වනු ලබන්නකි.

 



 

පාසැල් කාණ්ඩය යටතේ, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්. ලසිඳු බුද්ධික විසින් ඉදිරිපත් කළ ‘දුම් මාළු බයිට්’ සහ විවෘත කාණ්ඩයෙන්, පශු වෛද්‍ය මෙරෙඥ්ඥගේ රොමෙලා මෙරිස් සල්ගාදු විසින් ඉදිරිපත් කළ ‘Pet labs’ යන ඉදිරිපත් කිරීම් මේ වසරේ හොඳම යෝජනාවන් දෙක ලෙස සම්මානයට පාත්‍ර විය.

තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් විශාල ප්‍රමාණයක් අතුරින්, ප්‍රථම වටය සඳහා ඉතා පුළුල් පරාසයක විවිධත්වයකින් යුතු තරඟකරුවන් 100 දෙනෙකු කාණ්ඩ දෙකක් යටතේ තෝරා ගැනුණි. තෝරාගත් තරඟකරුවන් ඉතා සුවිශේෂී නිපුණතා සංවර්ධන ක්‍රියාවලියක් වෙත යොමු කෙරුණු අතර, මේ යටතේ මාර්ගගත පුහුණු, නේවාසික පුහුණු කඳවුරු, පෞද්ගලිකව උපදේශනය සහ ව්‍යාපාරික යෝජනාවලි සඳහා සූදානම් කිරීමේ පුහුණු වැඩසටහන් රැසක් සඳහා ද යොමු කරවන ලදී.

අවසන් තරඟකරුවන් සය (06) දෙනා විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපාරික යෝජනා, වැඩසටහනේ වඩාත් කැපී පෙනුණු අංගය විය. එක් එක් තරඟකරුවන් විසින් ඔවුන්ගේ සංකල්ප විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, විනිශ්චය මණ්ඩලය ජයග්‍රාහකයන් නිවේදනය කිරීමෙන් අනතුරුව ජයග්‍රාහකයන් සහ අනුශූරයන් වෙත සම්මාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, තිලකා ජයසුන්දර මහත්මිය, නවෝත්පාදන හා ව්‍යවසාය පිළිබඳ සිසුන් තුළ උනන්දුවක් ඇති කිරීම සඳහා මෙවැනි තරඟවල ඇති වැදගත්කම ගැන සඳහන් කළාය. “SPARK කියන්නෙ හුදෙක්ම ජයග්‍රාහකයන්ට තෑගි පිරිනමන තරඟාවලියක් පමණක් නෙවේ. සියලු තරඟකරුවන් තුළ ව්‍යවසායක මානසිකත්වය වර්ධනය කරන වැඩසටහනක්. නවෝත්පාදන අදහස් යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය නිපුණතා, ආත්ම විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරන වේදිකාවක්. මේ වසරේදී තාක්ෂණික විසඳුම්වල සිට පරිසර හිතකාමී නිෂ්පාදන දක්වා විවිධත්වයෙන් පිරුණු අපේ තාරුණ්‍යයේ නිර්මාණශීලීත්වය සහ හැකියාවන් පෙන්වන අදහස් රැසක් අපිට දැක ගන්න පුළුවන් වුනා. මේ අදහස් තුළින් ගෝලීය අභියෝග ජයගැනීමට සහ ඔවුන්ගේ උත්සාහය ඵලදායී බවට හරවමින් ප්‍රායෝගික ව්‍යාපාරික අදහසක් බවට පරිවර්තනය කිරීම සඳහා ඔවුන් දිරිගැන්වීම, මඟ පෙන්වීම සහ සහයෝගය අවශ්‍යයි.”

ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ ව්‍යවසායක හැකියාවන් ඇගයීමට ලක් කළ SPARK තරඟාවලියේ අවසන් අදියර සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රධාන සම්පත්දායකයන්, ජාත්‍යන්තර සංවිධාන, තරුණ ව්‍යවසායකයන්, අධ්‍යාපනඥයින්, කර්මාන්ත හා ව්‍යාපාරික නායකයන් රැසක් සහභාගී වූ අතර, දෙමාපියන්, අනුග්‍රාහකයන්, විනිශ්චය මණ්ඩල සාමාජිකයන්, උපදේශකයන් සහ පුහුණුකරුවන්ගෙන් තරඟාවලිය පුරා ලැබුණු සහය හා මඟපෙන්වීම ද ‍ඇගයීමට ලක් කරන ලදී.

අවසන් මහා තරඟය පිළිබඳ අදහස් පළ කළ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, දුමින්ද හුලංගමුව මහතා, “SPARK 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය, ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයන්ගේ හැකියාවන් සහ විභවයන්  ඉතාමත් ප්‍රබල අයුරින් විදහා දැක්වුණු අවස්ථාවක් ලෙස සඳහන් කරන්න පුළුවන්. SPARK වේදිකාව හරහා ඔවුන්ගේ අදහස් හා නිපුණතා එළිදක්වන්න ලැබීම ගැන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විදියට අපි ඉතාමත් ආඩම්බර වෙන අතරම, ජයග්‍රාහකයන්ට මගේ සුබ පැතුම් පිරිනමනවා. අවසන් වටයට සුදුසුකම් ලැබූ සියලු දෙනා පෙන්නුම් කළ උද්‍යෝගය සහ නවෝත්පාදන නිපුණතාව ඉතාමත් ප්‍රශංසනීයයි. ඔවුන් ව්‍යවසායක ගමනේ ඉතා ඉහළට ගමන් කරනු ඇති බව මට විශ්වාසයි. රටේ ආර්ථිකයේ අනාගතය වන මේ තරුණ ව්‍යවසායකයන්ට අවශ්‍ය සහය සහ සවිබලය නිරන්තරයෙන්ම ලබා දෙන්න අපි සූදානම්.”

ප්‍රධාන ව්‍යවසායක තරඟාවලියට අමතරව, ප්‍රථම වරට SPARK 2024 හිදී තරුණ මාධ්‍යවේදීන්ගේ හැකියාවන්ට ද සම්මාන පිරිනැමීමක් සිදු වූ අතර, ඒ යටතේ SPARK තරුණ ව්‍යවසායකත්ව මාධ්‍යවේදියා සහ SPARK තරුණ ව්‍යවසායක මාධ්‍යවේදියා යන සම්මාන ද පිරිනමනු ලැබීය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය නියෝජනය කරමින් අදහස් දැක්වූ, ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන කාර්යාලයේ ජොනී සිම්සන් මහත්මිය, “SPARK තරඟාවලිය කියන්නෙ තරුණ ව්‍යවසායකයන්ට ඩිජිටල්කරණය, ජනගහනයේ  පරිවර්තන සහ කාලගුණ වෙනස්වීම් යන තෙවැදෑරුම් පරිවර්තන පිළිබඳව අවධානය යොමු කිරීමට ලැබෙන වේදිකාවක්. මේ තුළින් තරඟකරුවන්ට තමන්ගේ නවෝත්පාදන අදහස් දියුණු කරගන්න, ඊට වලංගුභාවයක් ලබා දෙන්න සහ යථාර්ථවාදී ව්‍යාපාරික ආකෘතියක් බවට දියුණු කරගැනීමට දිරිගැන්වීමක් ලැබෙනවා වගේම ඔවුන්ට තමන්ගේ දැනුම සහ ජාලය පුළුල් කරගන්න අවශ්‍ය තාක්ෂණික සහය සහ අවස්ථාවන් ද අඛණ්ඩව හිමි වෙනවා. අපි කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම තරුණියන් ඇතුළු ශ්‍රී ලාංකික තාරුණ්‍යයට SPARK 2025 තරඟාවලිය සමඟ සම්බන්ධ වීමට ආරාධනා කරනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය විදියට අපි ඉතාමත් ආඩම්බර වෙනවා මේ මුලපිරීම සඳහා සහය දීමට ලැබීම ගැන. ඒ වගේම සියලුම තරඟකරුවන්ටත් ඔවුන්ගේ ව්‍යවසායක ගමනේ සාර්ථකත්වයට අපි සුභාශිංසන එක් කරනවා.”

තරුණ ව්‍යවසායකත්වය කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වූ SPARK 2024 මඟින්, මෙම තරඟාවලිය නවෝත්පාදනය සහ නිර්මාණශීලීත්වය උදෙසා වූ වේදිකාවක් බව නැවත වරක් සනාථ කරන්නට සමත් වූ අතර, තරුණ ව්‍යවසායකයින්ට තම සිහින දිනන්නටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීමටත් මේ හරහා අවස්ථාව සලසා දී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව